“අත්ථි භික්ඛවෙ, පීතිසම්බොජ්ඣංගට්ඨානියා ධම්මා, තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣංගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්-ඣංගස්ස භාවනාය පාරිපූරිය.”
තේරුම :-
මහණෙනි, පීතිසම්බොජ්ඣංගයට හේතු වන ධර්මයෝ ඇතහ. ඒ ධර්මයන් ගැන කාරණානුකූලව මෙනෙහි කිරීම් බහුල බව නූපන් පීතිසම්බොජ්ඣංගයේ ඉපදීමට ද උපන් පීතිසම්බොජ්ඣංගයේ වැඩීමට හා සම්පූර්ණ වීමට ද හේතු වන්නේ ය.
මෙහි පීතිසම්බොජ්ඣංගස්ථානීය ධර්ම වශයෙන් දැක්වෙන්නේ ප්‍රීතිය ම ය. සත්ත්වයනට ප්‍රීතිය මහත් වූ මිහිරකි. වරක් එය ලැබූ තැනැත්තා නැවත නැවතත් ලැබීමට කැමති වෙයි. එබැවින් පළමු පළමු ඇති වූ ප්‍රීතිය ම මතු මතුයෙහි ප්‍රීති ඇති වීමට හේතු වෙයි. ප්‍රීති සම්බොජ්ඣංගස්ථානීය ධර්මයන් ගැන යෝනිසෝමනිසාකාරය ය යනු යම් යම් ආකාරයකින් සිතන කල්හි ප්‍රීතිය ඇති වේ නම් ඒ ඒ ආකාරයෙන් සිතීම ය.
ප්‍රීතිය, සාමිෂ ප්‍රීතිය ය නිරාමිෂ ප්‍රීතිය යයි දෙවැදෑරුම් වේ. එයින් ධනධාන්‍ය පුත්‍රදාරාදීන් පිළිබඳ ව ඇති වන ප්‍රීතිය සාමිෂ ප්‍රීතිය ය. භික්ෂූන් ගේ වශයෙන් කියත හොත් සිවුපසය සම්බන්ධයෙන් හා දායක ගෝල බාලාදීන් සම්බන්ධයෙන් ඇති වන ප්‍රීතිය සාමිෂ ප්‍රීතිය ය. එය නිවනට හේතු වන ප්‍රීතියක් නො වේ. එය මේ බෝධ්‍යාංග කථාවෙහි අදහස් කරනු නො ලැබේ. මෙහි අදහස් කරනුයේ බුද්ධගුණාදිය සම්බන්ධයෙන් ඇති වන නිරාමිෂ ප්‍රීතිය ය. එය ලැබීමට බුද්ධගුණාදිය සිතිය යුතු ය. ඒ නිරාමිෂ ප්‍රීතියේ උසස් බව ගැන හෝ සිතිය යුතු ය. එසේ සිතීම ප්‍රීති සම්බෝධ්‍යාංගස්ථානීය ධර්මයන් පිළිබඳ යෝනිසෝමනස්කාරය ය. අටුවාවෙහි ප්‍රීති සම්බොජ්ඣංගයට හේතු එකොළොසක් දක්වා තිබේ. ඒ මෙසේ ය:-
“එකාදස ධම්මා පීතිසම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති. බුද්ධානුස්සති, ධම්ම - සංඝ - සීල - චාග - දේවතානුස්සති, උපසමානුස්සති, ලූඛපුග්ගලපරිවජ්ජනතා. සිනිද්ධපුග්ගලසෙවනතා, පසාදනීයසුත්තන්තපච්චවෙක්ඛණතා, තදධිමුත්තතාති.”
(1) බුදු ගුණ නැවත නැවත මෙනෙහි කිරීම ය, (2) දහම් ගුණ නැවත නැවත මෙනෙහි කිරීම ය, (3) සඟ ගුණ නැවත නැවත සිහි කිරීම ය, (4) තමා ගේ ශීලගුණය නැවත නැවත මෙනෙහි කිරීම ය, (5) තමා ගේ ත්‍යාග ගුණය නැවත නැවත මෙනෙහි කිරීමය, (6) දේවත්වයට පැමිණීමට හේතු වන තමා ගේ ශ්‍රද්ධාදි ගුණයන් නැවත නැවත මෙනෙහි කිරීම ය, (7) තමා ගේ සන්සුන් කෙලෙසුන් නැවත නැවත මෙනෙහි කිරීම ය, (8) රළු පුඟුලන් ආශ්‍රය නො කරන බැහැර කරන බවය, (9) මොළොක් ගුණැති අය ආශ්‍රය කරන බවය, (10) ප්‍රසාදයට හේතු වන සූත්‍ර ධර්මයන් මෙනෙහි කරන බවය, (11) ප්‍රීති සම්බෝධ්‍යාංගයෙහි නැමුණු සිත් ඇති බව ය යන මේ කරුණු එකොළොස අටුවාවෙහි දැක්වෙන ප්‍රීති සම්බෝධ්‍යාංග හේතූහු ය.
ප්‍රීතිය සැම දෙනාට ම වුවමනා දෙයකි. සාමාන්‍ය ජනයා ගේ ප්‍රීතියට හේතු වන අඹු - දරු, නෑ - මිතුරු ආදීන් හා වතු කුඹුරු, ඇඳුම් - පැළඳුම්, මිල - මුදල්, යාන - වාහන, ගරු නම්බු තනතුරු ආදිය ද, උසස් යෝගාවචරයන්ට පෙනෙන්නේ නින්දේ දී දක්නා සිහින බඳු, කැඩපත්වල පෙනෙන රූප බඳු, මස් නැති ඇටකටු බඳු නිස්සාර දේ ලෙසට ය. කඩු කිනිසි උල් පිහියා තුවක්කු ගිනි අඟුරු බඳු භයානක දේ ලෙසට ය. වල් අලි වල්හරක්, කොටි, වලස් නයි පොළොන් ආදීන් සේ භයානක සැටියට ය. වැසිකිලි වළවල් සේ පිළිකුල් ලෙසට ය. උසස් යෝගාවචරයන් ඒ කාමයන්ට බියවන තරම කාමයන් ගැන සලකන සැටි භිස ජාතකයෙන් තේරුම් ගත හැකි ය.
ඒ මෙසේ ය :-