ජවන නියමය
ප්රවෘත්ති කාලයෙහි, කාම ජවන චිත්ත වීථින්හි කාම ජවනයන් සත් වරක් ඉපදීම සාමාන්‍ය ධර්මතාවයකි. නමුත් එයට අඩුව සයවරක් හෝ පස්වරක් ජවන් උපදින අවස්ථාද ඇත. බලවත් රෝගාදිය කරණකොට ගෙණ හෘදය වස්තුව ඉතා දුර්වලවන කල්හී ද, මරණාසන්න අවස්ථාවන්හිද, උසින් වැටීම, දියේ ගිලීම, මහත් භයට පත්වීම, මූර්ඡාවීම සිහි නැතිව පවතින විසංඥ අවස්ථාව, මව් කුසින් බිහිවන අවස්ථාව, යනාදී අවස්ථාවන්හිදී හෘදය වස්තුව ඉතා දුර්වල වන බැවින් ජවන් සිත් සය වරක් හෝ පස් වරක් හෝ පහළවෙත්.
තවද, බුදුරජාණන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්‍ය්‍ය කාලයේදී ප්රත්යවෙක්ෂා ජවනයන් සතර වරක්ම ලැබෙන්නේය. පසේ බුදුවරයන් වහන්සේලා හා මහමුගලන් ආදී මහ රහතන් වහන්සේලා සෘද්ධි දක්වන කාලයන්හි ජවන් සිත් පස්වරක් පහළ වන්නේය.
ආදිකර්මික හෙවත් එක් එක් ධ්‍යානයක් පිණිස පළමු කොට කර්මස්ථාන වඩන්නාවූ පුද්ගලයාහට, ප්‍රථමයෙන්ම අර්පණා ලැබෙන කල්හි, මහග්ගත ජවනය එක් වරක්ම උපදී. පසුව ඒ ඒ ධ්‍යානයන්ට සමවදින කල්හි, සමාපත්ති වීථින්හි ධ්‍යාන ජවනයන් බොහෝ ගණනක් ඇතිවිය හැකිය. මාර්ග ජවනයෝද එක් එක් වරක්ම උපදිත්. මාර්ග චිත්ත වීථින්හි මාර්ග ජවනයට අනතුරුව උපදනා ඵල සිත් හෙවත් ඵල ජවනයන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් වෙති. මන්ද ප්‍රාඥ පුද්ගලයාහට දෙවරක්ද, තික්ඛ ප්‍රාඥ පුද්ගලයාහට ඵල ජවන් තුන්දෙනෙක්ද උපදී.
අභිඥා ජවන් උපදනා කල්හි එක් චිත්ත වීථියක එක් අභිඥා චිත්තයක්ම උපදී. සෙසු සමාපත්ති වීථියක මෙන් බොහෝවර නුපදි. අභිඥා ජවනයෙහි සමාපත්තියක් නැත. එය පඤ්චමධ්යානයාගේම එක්තරා ශක්ති විශේෂයකි.
අභිඥා ජවනය එක් වරක් ඉපිද නිරුද්ධ වූ කල්හි, සෘද්ධිය, දැක්වීම වශයෙන් සිය දහස් ගණන් රූපයන් මවා දක්වනු කැමතිනම් එසේ අධිෂ්ඨාන කළ කල්හි, ඒ අභිඥා ජවන චිත්තයාගේම ධර්ම ශක්තිය හේතුකොට ගෙණ, ඉටාගත් පරිදි සෘද්ධිය පහළ වන්නේය. දිව්‍ය ශ්‍රෝත්‍රය, පරචිත්ත විජානනඥානය ආදී සෙසු අභිඥාවන් උපදවන කල්හිද, මේ පිළිවෙලට ඇතිවේ.
අභිඥා ජවනය එක් වරක් ඉපිද නිරුද්ධ වූ කල්හි ද පෘථග්ජන යන්ට හා ශෛක්ෂයන්ට කාමාවචර කුසල් චිත්තයෙන්ද බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කාමාවචර ක්‍රියා චිත්තයෙන්ද ඒ ඒ දිව්‍ය ශ්රෝතාදිය හට ගන්නා බව දත යුතුයි. මෙසේ අභිඥා චිත්තය නිරුද්ධවී ගියේ නමුදු, ඒ අභිඥානුභාවය කරණ කොට ගෙණ කාමාවචර කුසල ක්‍රියා චිත්තයන්ගෙන් සෘද්ධිවිධය, දිව්‍ය ශ්‍රෝත්‍රය, පර සිත් දැනීමය, පෙර විසූ කඳ පිළිවෙල දැනීමය, දිව්‍ය චක්‍ෂුරභිඥානය යන පඤ්චාභිඥාවන් සහ දිව්යචක්ෂුරභිඥානයාගේම විශේෂයන්වූ ඉන්ද්රිය පරෝපරියත්තඤාණය, අතීතංස ඥානය, අනාගතංසඥානය යන අභිඥාවෝද පවත්නාහු වෙති.
බුදුරජාණන් වහන්සේ යමක ප්‍රාතිහාර්‍ය්‍ය දක්වන කාලයේදී ප්රත්යවෙක්ෂා ජවන් සතරක්ම උපදින බව දක්වන ලදී. යමා මහ පෙළහර පානා කල්හි, ගිනි දලු නික්මවීමට අදහස් කරන්නේ නම් තෙජෝ කසිණය අරමුණු කොට චතුෂ්ක නයින් චතුර්ථධ්යානයට සමවදින සේක. මෙය පරිකර්මපාදක ධ්යානයනම් වේ. ඉක්බිති ඒ ධ්‍යානයෙන් නැගිට ප්රත්යවෙක්ෂා වීථි උපදවමින් එම ධ්‍යානයෙහි අන්තර්ගත උපෙක්ඛා, එකග්ගතා, යන ධ්‍යානාඞ්ගයන් ප්රත්යවෙක්ෂා කරණ සේක. මේ චිත්ත වීථිවල ප්රත්යවෙක්ෂා ජවන් සතර වරක් උපදී. එයට අනතුරුව ශරීරයේ මතු භාගයෙන් ගිනි දලු නික්මේවායි අධිෂ්ඨාන කොට, නැවත පරිකර්ම වීථියක් උපදී. මෙයට අභිඥාපාදකධ්යාන වීථිය යයි කියනු ලැබේ. එයින් නැගිට ඉහතකී පරිදි ප්රත්යවෙක්ෂා වීථි උපදවමින් එහි ඇතුළත් ධ්‍යානාඞ්ග යන් ප්රත්යවෙක්ෂා කරණ සේක. අභිඥා වීථිය ඇති වන්නේ එයට පසුවය. එම අභිඥා වීථියේ පහළවූ අභිඥාවගේ ආනුභාවයෙන් උඩ කයින් ගිනි දලු නික්මීම සිදුවන්නේ එයට අනතුරුවය. ඊටපසු ශරීරයේ යට භාගයෙන් දිය දලු නික්මවීමට අදහස් කළ කල්හි, අපො කසිණය අරමුණු කොට ගෙණ ඉහතකී පරිද්දෙන් චිත්ත වීථින් උපදවන සේක. මෙසේ ඇතිවන්නාවූ චිත්ත වීථි දෙකක් අතර භවඞ්ග සිත් දෙකකට වඩා නූපදී. මේ ක්‍රමයෙන් ගිනි දලු දිය දලු ආදිය සඳහාත්, වෙන් වෙන්වූ චිත්ත වීථි බොහෝ ගණනක් ඉතා ශීඝ්‍රව ඇතිවන බැවින්, යමක ප්‍රාතිහාර්‍ය්‍ය බලා සිටින්නවුන්ට වැටහෙන්නේ එම ගිනි දලු හා දිය දලු එක විටම එකම තැනින්ම නික්මෙන්නාක් මෙනි. ඍද්ධිය දක්වන ප්රත්යවේක්ෂා ජවනයෝ කාමාවචර ජවනයන්ම බව දත යුතුයි.