අභිධර්මාර්ථ ප්‍රදීපිකා

භූමි භේදය

සත්ත්වයන් පහළවන්නාවූ භූමින්ගේ වශයෙන් සිත් බෙදා දැක්වීම භූමි භේදය නම් වේ.

කාම භූමි, රූප භූමි, අරූප භූමි යයි භූමි තුනෙකි.

සදිව්‍යලොක, මනුෂ්‍ය ලෝකය, සහ සතර අපාය යන භූමි එකොළොස කාම භූමි නම් වේ. මෙහි උපදනා සත්ත්වයන්ට වීථි සිත් අසූවම, ඒ ඒ පුද්ගලයන්ට සුදුසු පරිදි ලැබෙන්නාහුය.

කාමාවචර භූමියෙහි වනාහි එකොලොස් භූමි කෙනෙක්ද, ප්‍රතිසන්ධිහු දසදෙනෙක්ද, අටවිසි රූප කෙනෙක්ද, ෂටද්වාර කෙනෙක් ද පරිපූර්ණායතන ඇති සත්ත්වයන්ට ලැබෙත්. ප්‍රතිසන්ධිහු දසදෙනා නම් අපාය ප්‍රතිසන්ධි සඞ්ඛ්‍යාත අකුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ චිත්තයද, මනුෂ්‍ය ලෝකයෙහි ජාත්‍යාන්ධාදී ලාමක සත්ත්වයන්ගේ හා භූමිනිශ්‍රිත විනිපාතික අසුරයන්ගේද ප්‍රතිසන්ධිය ගෙනදෙන්නාවූ කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ චිත්තය ද, සප්තකාම සුගතියෙහි ප්‍රතිසන්ධිය දෙන්නාවූ මහා විපාකයෝ අටදෙනා ද යන දසදෙනාය. වීථි සිත් අසූවම ලැබෙන්නේ අඞ්ග විකලත්වයක් නැති පරිපූර්ණායතන ඇති සත්ත්වයන්ටය. ජාති, අන්ධ, ජාති බධිර ආදී අඞ්ග විකලත්වයන් ඇති කල්හි ද යම් යම් ද්වාර නැති කල්හිද, ඒ ඒ ද්වාරයන් නිසා ඇතිවන වීථි සිත් ඇති නොවන බව දතයුතුයි. භූමිනිශ්‍රිත විනිපාතික අසුරයන්ද, වෘක්ෂනිශ්‍රිත වෘක්ෂ දෙවතාවෝද, පර්වත, ගඞ්ගා, සමුද්‍රාදිය ඇසුරුකොට වසන දෙවියෝද, චාතුම්මහාරාජිකයටම ඇතුළත් වෙති. තවද කාම භූමියෙහි උපදනා අහේතුක, දුහේතුක, ත්‍රිහේතුක පෘථග්ජන, ධ්‍යාන, මාර්ග, ඵලස්ථ පුද්ගලයන්ගේ වශයෙන්, පුද්ගල භේදයෙහි දක්වනලද පරිද්දෙන් තම තමන්ට අයිති සිත් පමණක් ලැබෙන බව සැලකිය යුතුයි.

රූපාවචර භූමියෙහි-පටිඝජවනයන් වූ දෝෂ මූල සිත් දෙකත්, තදාරම්මණයෝත් පහළ නොවෙත්. තදාරම්මණ සිත් එකොළොසින්, සන්තීරණ සිත් තුන පමණක් සන්තීරණ කෘත්‍ය සිද්ධ කරමින් උපදී. මහා විපාකඅට නොලැබෙන්නේමය.

එසේම, රූපාවචර භූමියෙහි ඝාණ, ජිව්හා, කාය යන ද්වාරයන් නොලැබෙන හෙයින්, ඒ ද්වාරත්‍රයෙහි උපදනා ඝාණ විඤ්ඤාණ සිත් දෙකය, ජිව්හා විඤ්ඤාණ සිත් දෙකය, කාය විඤ්ඤාණ සිත් දෙකය යන චිත්තයන් සදෙන නූපදිත්. කාම විරාග භාවනා බලයෙන් බ්‍රහ්ම ලෝකයෙහි උත්පත්තිය වන හෙයින් කාම ගුණ විඳීමට පමණක් උපකාර වන ඝාණාදී ප්‍රසාදත්‍රය නොලැබෙන බව දතයුතුයි.

එබැවින් රූපී බ්‍රහ්මයින්ට, දෝස මූල දෙසිතය, මහා විපාක සිත් අටය, ඝාණ, ජිව්හා, කාය විඤ්ඤාණයෝ සදෙනාය යන සොළොස් වීථි චිත්තයන් නොලැබෙත්. ඉතිරි වීථි සිත් සැටසතර (64) ලැබේ.

මේ රූපී බ්‍රහ්මයන් අතර පෘථග්ජන බ්‍රහ්මයෝද, ආර්‍ය්‍යයෝද සිටින හෙයින් පුද්ගල භේදයෙහි සඳහන් වූ පරිදි ඒ ඒ පුද්ගල යන්ට ලැබෙන සිත් දතයුතුයි.

අරූපාවචර භූමියෙහි රූප කිසිවක් නැතිව සතර නාමස්කන්ධයෙන් පමණක් ප්‍රතිසන්ධිය ලබන හෙයින්, අරූපී බ්‍රහ්මයන්ට පඤ්චද්වාරයන් නැත්තාහ. එබැවින් පඤ්චද්වාරික චිත්ත වීථි කිසිවක් හට නොගන්නා හෙයින්, ද්විපඤ්ච විඤ්ඤාණයෝය, පඤ්චද්වාරාවජ්ජනය, සම්පටිච්ඡන දෙසිතය, සන්තීරණ සිත් තුනය, මහා විපාක සිත් අටය යන සූවිසි චිත්තයන් නොලැබෙත්. එසේම කාම විරාග භාවනා බලයෙන් ලත් ධ්‍යාන ඇති හෙයින් දෝස මූල සිත් දෙකද, පඤ්චද්වාර වීථින්හි උපදනා හසිතුප්පාද සිතද, රූපාවචර කුසල ක්‍රියා සිත් දසයද, යන තෙළෙස් වීථි චිත්තයන් ද නොලැබෙන්නාහ. තවද පරතොඝෝස ප්‍රත්‍යයෙන් හෙවත් ධර්මය ඇසීමෙන්ම සොවාන් මාර්ගය ලබා ගත යුතු බැවින් ප්‍රසාද වස්තු කිසිවක් නැති අරූප තලයෙහි සොතාපත්ති මාර්ග චිත්තයද නොලැබෙන්නේය. එබැවින් අරූපී බ්‍රහ්මයන්ට නොලැබෙන සිත් සඞ්ඛ්‍යාව තිස් අටෙකි (38) ඉතිරි සිත් දෙසාළිස (42) ලැබේ.

අරූපතලයෙහිද පෘථග්ජනයන් සහ ආර්‍ය්‍යයන්ද වසන හෙයින් ඒ ඒ පුද්ගලයන්ට ලැබෙන වීථි සිත් පුද්ගල භේදයෙහි දැක්වූ පරිදි දත යුතුයි.

තවද අරූප භූමි අතුරෙන් විඤ්ඤාණඤ්චායතන භූමියෙහි වසන බ්‍රහ්මයන්ට ආකාසානඤ්චායතන කුසල ක්‍රියා සිත් ද ආකිඤ්චඤ්ඤායතන බ්‍රහ්මයන්ට ආකාශානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන කුසල ක්‍රියා චිත්තයන්ද, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන බ්‍රහ්මයන්ට ආකාශානඤ්චායතන විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන කුසල ක්‍රියා සිත් ද නොලැබෙන බව සැලකිය යුතුයි.

අසංඥා තලයෙහි පහළ වන්නාවූ සත්ත්වයන්ට, චිත්තයන්ගේ ඉපදීමට හේතුභූත වූ ෂට්ද්වාරයම නැති හෙයින් චිත්තප්‍රවෘත්තිය හාත්පසින්ම නැත්තේය.

මේ පුද්ගලයෝ අසංඥා භවයෙන් චුතව කාමාවචර භවයෙහි උපදනා කල්හි, අසංඥා තලයෙහි ඉපදීමට හේතුභූතවූ වායොකසිණ පඤ්චමධ්‍යානය ඉපදෙව් භවයෙහි රැස්කරණ ලද්දවූ යම්කිසි කාමාවචර කුසල කර්මයක්, අපරාපර්‍ය්‍යවේද්‍ය වශයෙන් විපාක දීමට ඉදිරිපත්වී, එම කර්මානුභාවයෙන් ගෙණහැර දක්වන්නාවූ කර්ම, කර්ම නිමිති, ගති නිමිති යන නිමිතිවලින් එකක් එල්බගෙණ කාමාවචර භූමියෙහි ප්‍රතිසන්ධි ගන්නේයයි දතයුතුයි.