අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පුද්ගල භේදය

පුද්ගලයන්ගේ වශයෙන් සිත් බෙදා දැක්වීම පුද්ගල විභාගය නම් වේ. එබැවින් පුද්ගලයෝ කවරහුද? ඒ ඒ පුද්ගලයන්ට ලැබෙන සිත් කවරහුද? යනු විස්තර කරණු ලැබේ.

ප්‍රතිසන්ධිය ලැබූ ආකාරයෙන් පුද්ගලයෝ ත්‍රිවිධ වෙත්.

එනම්:-

  1. අහේතුක ප්‍රතිසන්ධිය ලැබූ අහේතුක පුද්ගලයෝය.
  2. ද්විහේතුක ප්‍රතිසන්ධිය ලැබූ දුහේතුක පුද්ගලයෝය.
  3. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ලැබූ තිහේතුක පුද්ගලයෝය.

අහේතුක පුද්ගලයෝ දෙකොටසකි. එනම්: (1) අහේතුක අකුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිතින් සතර අපාය නම් වූ දුගතියෙහි ප්‍රතිසන්ධිය ලැබූ දුගති අහේතුක පුද්ගලයා ය.

(2) අහේතුක කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිතින් සුගති නම් වූ දෙව් මිනිස් දෙගතියෙහි ලාමක ප්‍රතිසන්ධිය ලැබූ සුගති අහේතුක පුද්ගලයා ය.

    1. දුගති අහේතුක පුද්ගලයෝ - උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත හැර, ඉතිරි එකොළොස් අකුසල් සිත් අතුරෙන් එක් සිතකින් කරණ ලද අකුසල කර්මපථයාගේ පටිසන්ධි විපාක වශයෙන් නිරය, කිරිසන් අපාය, ප්‍රේතයෝනිය, අසුර නිකාය යන සතර අපායෙහි එකම අහේතුක අකුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිතින් ප්‍රතිසන්ධිය ලැබූ පුද්ගලයෝය.
    2. සුගති අහේතුක පුද්ගලයෝ - ඉතා දුර්වලවූ ඤාණ විප්‍රයුක්ත ද්විහේතුක කුසල් සිත් සතරින්, එක් සිතකින් කරණ ලද හීනවූ කුසල කර්මයාගේ ප්‍රතිසන්ධි විපාක වශයෙන්, අහේතුක කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිතින්, දෙව් මිනිස් දෙගතියෙහි ප්‍රතිසන්ධිය ලැබූ පුද්ගලයෝය. ජාති අන්ධ, ජාති බධිර ආදී අඞ්ග විකලත්වය ඇති, ඤාණයෙන් හීනවූ, සිඟාකෑම ආදියෙන් ඉතා දුකසේ දිවි පවත්වා ගන්නාවූ ලාමක මනුෂ්‍යාත්මයක් ලැබූ පුද්ගලයා සුගති අහේතුක පුද්ගලයෙකි. එමෙන්ම, එම අහේතුක කුසල විපාක සන්තීරණ සිතින් ප්‍රතිසන්ධිය ලබන්නාවූ, භූමිනිශ්‍රීත විනිපාතික අසුරයෝද සුගති අහේතුක සඞ්ඛ්‍යාවට ඇතුළත් වෙති. මොව්හු ඤාති ප්‍රේත සඞ්ඛ්‍යාවෙන් නෑයන් බලා පොරොත්තු වන නමුත් මනුෂ්‍ය භූමියට හෝ අපාය භූමියට ද ඇතුළත් නොවන හෙයින්, චාතුම්මහාරාජිකයට ඇතුළත් වන්නාහු යයි දත යුතුයි.
  1. ද්විහේතුක පුද්ගලයෝ නම්:- අලෝභ, අදෝස යන හේතු දෙක පමණක් යෙදුනාවූද, ඤාණ විප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් සතරින් එක් සිතකින් කරණලද ද්විහේතුක උත්කෘෂ්ට පුණ්‍යකර්මයාගේ ප්‍රතිසන්ධි විපාක වශයෙන් සුගතියෙහි ඤාණ විප්‍රයුක්ත මහා විපාක සිත් සතර අතුරෙන් එක් විපාක සිතකින් ප්‍රතිසන්ධිය ලැබූ පුද්ගලයෝය. පටිසන්ධියට හේතු භූතවූ ද්විහේතුක කුසල කර්මයාගේ හීන, මධ්‍යම, උත්කෘෂ්ට ආදී භේද කරණකොටගෙන විපාකයෝද වෙනස් වේ. තම උත්සාහයෙන්ම සැප සම්පත් සාදා ගැණීමට සිදුවේ. ඤාණයෙන් තොරව හෙවත් ජන්ම ප්‍රඥා නැතිව උත්පත්ති ලැබූ හෙයින් එම ආත්මභාවයේදීම උත්තරී මනුෂ්‍ය ධර්ම නම් වූ ධ්‍යාන, මාර්ග ඵලයන්ට පැමිණිය නො හැකි වේ.
  2. ත්‍රිහේතුක පුද්ගලයෝ නම්:- අලොභ, අදොස, අමොහ යන ත්‍රිහේතුක ප්‍රතිසන්ධි විපාක සිතකින් උත්පත්තිය ලැබූ පුද්ගල යෝයි. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ගෙනදෙන විපාක සිත් තෙළෙසකි. එනම් කාමාවචර ඤාණ සම්ප්‍රයුක්ත මහා විපාක සතරය, රූපාවචර විපාක පසය, අරූපාවචර විපාක සතරය, මෙයින් කාමාවචර ඤාණසම්ප්‍රයුක්ත මහා විපාක සතරෙන්, මනුෂ්‍ය ලොකය සහ සදිව්‍ය ලොකයද යන කාම සුගතියෙහිද, රූපාවචර විපාක පසෙන් රූපාවචර බ්‍රහ්ම ලොකයෙහි ද, අරූපාවචර විපාක සතරෙන් අරූපාවචර බ්‍රහ්ම ලොකයෙහි ද ප්‍රතිසන්ධිය ගෙන දෙන්නේය.

මෙසේ උපදින්නාවූ ත්‍රිහේතුක පුද්ගලයෝ දෙකොටසකි. එනම්: ත්‍රිහේතුක පෘථග්ජනයා ය, ආර්‍ය්‍ය පුද්ගලයා ය යන දෙදෙනා ය. නිර්වාණ මාර්ග ඵලාධිගමය නොකළ ත්‍රිහේතුක පුද්ගලයා ත්‍රිහේතුක පෘථග්ජනයා නම් වේ. මාර්ග ඵලාධිගමය කළ ත්‍රිහේතුක පුද්ගලයා ආර්‍ය්‍ය පුද්ගලයා නම් වේ.

ආර්‍ය්‍ය පුද්ගලයෝ අටදෙනෙකි. එනම්: සොවාන් මාර්ගය, සොවාන් ඵලය, සකෘදාගාමී මාර්ගය, සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, අර්හත් මාර්ගය, අර්හත් ඵලය යන මාර්ග ඵල ලාභි අෂ්ටාර්‍ය්‍ය පුද්ගලයෝය.

මේ ආර්‍ය්‍ය පුද්ගලයෝ අටදෙනා ද, ශෛක්ෂ පුද්ගලයා ය, අශෛක්ෂ පුද්ගලයා යයි දෙකොටසකි. අර්හත් ඵලස්ථ පුද්ගලයා අශෛක්ෂ පුද්ගලයා නම් වේ. සෙසු ආර්‍ය්‍ය පුද්ගලයෝ සත්දෙනා ශෛක්ෂ පුද්ගලයෝ නම් වෙති. මේ ආර්‍ය්‍ය පුද්ගලයෝ අටදෙනාද, ශුෂ්ක විදර්ශක ආර්‍ය්‍ය පුද්ගලයා ය. සමථයානික ආර්‍ය්‍ය පුද්ගලයා යයි දෙකොටසක් වෙත්. එහි විස්තර මෙයට පෙර දක්වන ලදී.