අභිධර්මාර්ථ ප්‍රදීපිකා

තදාරම්මණ නියමය

චිත්ත වීථියක, තදාරම්මණ සිත් ඉපදීමට හේතු සතරෙකි.

එනම්:-

  1. කාමාවචර ජවන් ඇතිවීමය.
  2. කාමාවචර භූමිය වීමය.
  3. කාමාවචර සත්ත්වයෙකු වීමය
  4. විභූත හෝ අතිමහන්තාරම්මණ චිත්ත වීථියක්වීමය.

අනිෂ්ටාරම්මණයක් ගෙණ හටගත් චිත්ත වීථියක් වී නම් අකුසල විපාකවූ, උපෙක්ඛා සහගත සන්තීරණ සිත තදාරම්මණ වශයෙන් උපදී.

ඉෂ්ට මධ්‍යස්ථාරම්මණයක් ගෙණ චිත්ත වීථියක් හටගත් තේ වීනම්, ඒ චිත්ත වීථිය අවසානයෙහි උපදනා තදාරම්මණයෝ, කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ චිත්තය, උපෙක්ඛා සහගත මහා විපාක සතරය යන මේ විපාක සිත් පසෙන් එක් සිතක් විය යුතුයි.

බුද්ධාදී අති ඉෂ්ටාරම්මණයක් හමුවිනම්, ඒ චිත්ත වීථිය අවසානයෙහි තදාලම්බණ වශයෙන් උපදින්නේ සෝමනස්ස සහගත මහා විපාක සතරය, සෝමනස්ස සන්තීරණය යන විපාක සිත් පසෙන් එකෙකි.

සාමාන්‍ය ස්වභාව වශයෙන් මෙසේ ඇතිවිය යුතු නමුත්, ලෝභ මූල ජවන් අටය, මෝහ මූල ජවන් දෙදෙනාය, මහා කුසල් ජවන් අටය, යන අටළොස් ජවනයන් අතුරෙන් යම්කිසි සිතක් ජවන් වශයෙන් ඇතිවූ කල්හි අසුවල් විපාක චිත්තයම තදාලම්බණ වශයෙන් උපදින්නේයයි යන නියමයක් නැත්තේය. මේ ජවනයෝ පෘථග්ජනයන්ගේ හා ශෛක්ෂ්‍යයන්ගේ සන්තානයන්හි උපදින බැවින් මෙසේ නියම කළ නොහැකි බව දත යුතුයි.

පෘථග්ජනවූ තීර්ථකයන්හට බුද්ධාදී අති ඉෂ්ට ආලම්බණයෙහි පවා දොම්නස් සහගත ජවන් උපදී. සඤ්ඤාවිපල්ලාසය චිත්තවිපල්ලාසය, දිට්ඨි විපල්ලාසය යනාදී විපල්ලාසයන් ඇති හෙයින් මෙසේ සිදුවන බව දත යුතුයි. එබැවින් චිත්ත වීථියක උපදනා ජවන් සිත්වල ස්වභාවය අනුවද තදාරම්මණයන්ද වෙනස් වේ.

සෝමනස්ස සහගත හසිතුප්පාද චිත්තය, සෝමනස්ස සහගත මහා ක්‍රියා ජවන් දෙකය යන සිත් තුනෙන් එකක් ජවන් වශයෙන් ඇතිවූ කල්හි සෝමනස්ස සහගත තදාලම්බණයක් ඒකාන්තයෙන්ම ලැබෙන්නේය.

එසේම උපෙක්ඛා සහගත ක්‍රියා ජවන් ඇතිවූ කල්හි උපෙක්ඛා සහගත තදාලම්බණයන් අතුරෙන් එක්තරා තදාලම්බණයක් උපදින්නේය.

ඤාණ සම්ප්‍රයුක්ත මහා ක්‍රියා ජවනයන්ට අනතුරුව ඤාණ සම්ප්‍රයුක්ත මහා විපාක සිත් සතරෙන් එකක් තදාලම්බණ වශයෙන් උපදී.

ඤාණ විප්‍රයුක්ත මහා ක්‍රියා ජවනයන්ට අනතුරුව ඤාණ විප්‍රයුක්ත තදාලම්බණයක්ම උපදී.

සසංඛාරික, අසංඛාරික ක්‍රියා ජවනයන්ට අනතුරුව සසංඛාරික අසංඛාරික තදාලම්බණයක්ම උපදී.

දොස මූල ජවනයට අනතුරුව ලැබෙන තදාලම්බණය එකාන්තයෙන්ම උපෙක්ඛා සහගත තදාලම්බණ චිත්තයක්මය. කිසි කලෙක සොමනස්ස තදාලම්බණයන් නොලැබේ. තදාලම්බණ ලැබීමට අවකාශ මදවුවහොත් ජවන් කෙළවරදී භවඞ්ග සිතක්ම පහළ වන්නේය. මේ භවඞ්ග සිත ඒකාන්තයෙන්ම උපෙක්ඛා භවඞ්ගයක්ම විය යුතුයි. සොම්නස් වේදනාව සහ දොම්නස් වේදනාව අතිශයින් විරුද්ධ නිසා එකකට එකක් පෙර පසුව ඇති නොවේ.

උපෙක්ඛා සහගත ප්‍රතිසන්ධි සිතින් පිළිසිඳ ගත්තාවූ පුද්ගලයා හට ඉෂ්ට මධ්‍යස්ථ අරමුණක් එල්බගෙණ, දොස මූලික ජවනයන් ඇතිවී, ඒ චිත්ත වීථියේ තදාලම්බණ සිත් ඇතිවීමට අවකාශ ඇති වුවහොත්, උපෙක්ඛා සහගත තදාලම්බණයක්ම ඇති වෙයි. තදාලම්බණයක් ඇතිවීමට අවකාශ නැති වුවහොත්, උපෙක්ඛා සහගත භවඞ්ගයක්ම වෙයි. මෙසේ ඇති කල්හි, අරමුණ හා භවඞ්ග චිත්තයද ජවනයද ඔවුනොවුන්ට ගැලපෙන්නේය.

උපෙක්ඛා සහගත පටිසන්ධියක් ඇති පුද්ගලයෙක්හට අති ඉෂ්ට අරමුණක් හමුවී, ද්වේෂ මූල ජවන් ඇති වුවහොත් තදාලම්බණ ඉපදීමට අවකාශ ඇත්තේවී නමුත්, තදාලම්බණ නොවී උපෙක්ඛා සහගත භවඞ්ගයක්ම වෙයි. තදාලම්බණ වන්නේ නම් අරමුණට අනුව සොම්නස් සහගත තදාලම්බණයක්ම විය යුතුයි. එසේ වන කල්හි ද, ජවනයන් හා නොගැලපෙන හෙයින් තදාලම්බණ නොවී භවඞ්ගයම වන්නේය.

සොමනස්ස මහා විපාක සිතින් ප්‍රතිසන්ධිය ලැබූ පුද්ගලයා සොමනස්ස ප්‍රතිසන්ධිකයායි. මේ පුද්ගලයාහට ඉෂ්ට මධ්‍යස්ථාලම්බණයක් අරමුණු කොට ගෙන, ද්වේෂ මූලික ජවන් ඇතිවූ කල්හි තදාලම්බණ ඇති නොවෙත්. තදාලම්බණයක් වන්නේ නම් උපෙක්ඛා සහගත තදාලම්බණයක්ම විය යුතුයි. එසේ නොවන හෙයින් උපෙක්ඛා සහගත භවඞ්ගයක්ම වෙයි.

සොමනස්ස ප්‍රතිසන්ධිකයාහට, අති ඉෂ්ටාරම්මණයක් අරමුණු කොට ගෙන ද්වේෂ මූලික ජවන් ඇතිවූ කල්හි, තදාලම්බණ විය යුතු චිත්ත වීථියක්වී නම්, අරමුණට අනුරූප පරිද්දෙන් සොම්නස් සහගත තදාලම්බණයක් විය යුතුයි. එසේ ඇති කල්හි ජවනය හා නොගැලපෙන හෙයින් උපෙක්ඛා සහගත සන්තීරණ සිතක්ම තදාලම්බණය වෙනුවට උපදී.

සොමනස්ස ප්‍රතිසන්ධිකයාහට, දෝමනස්ස ජවන යන්ට අනතුරුව තමාගේ ප්‍රකෘති සොමනස්ස භවඞ්ගයට පෙර උපදනා මේ උපෙක්ඛා සහගත සන්තීරණ සිත, කුමණ කෘත්‍යයක් සිද්ධකරන්නේදැයි විමසිය යුතුයි.

උපෙක්ඛා සහගත සන්තීරණ සිත කෘත්‍ය පසක්ම සිද්ධ කරන්නේය. එනම්, පටිසන්ධි කෘත්‍යය, භවඞ්ග කෘත්‍යය, චූති කෘත්‍යය, සන්තීරණ කෘත්‍යය, තදාරම්මණ කෘත්‍යය යන කෘත්‍ය පසය. දොම්නස් ජවනයටත්, ප්‍රකෘති සොම්නස් භවඞ්ගයටත් අතර උපදින මේ උපෙක්ඛා සහගත සන්තීරණ සිත, මේ කෘත්‍ය පසෙන් එකක්වත් සිද්ධ නොකරන්නේය. ඒ සිතේ අරමුණ, වීථි සිත්වලට අයත් අරමුණක් නොවන හෙයින් එය වීථි සිතක්ද නොවේ. එබැවින් මේ භවයෙහිම බොහෝ සෙයින් ගන්නාලද එක් කාමාවචර අරමුණක් එල්බගෙන, මේ දෝෂ ජවනයන්ට සහ සොම්නස් භවඞ්ගයටද අතරින් උපදනා සන්තීරණ සිත ආගන්තුක භවඞ්ග කෘත්‍යය සිද්ධ කරමින් එයට අනතුරුව තමාගේ ප්‍රකෘති සොම්නස් භවඞ්ගය ඉපදීමට අවකාශ ඇති කරමින් ඉපිද නිරුද්ධ වන බව දත යුතුයි.

රූපී අරූපී බ්‍රහ්මයන්ට තදාලම්බණ නොවන්නේ, කාමාවචර කර්ම නමැති බිජුවටින් ප්‍රතිසන්ධි නොගත් හෙයිනැයි දත යුතුයි. මහග්ගත ලෝකෝත්තර නිර්වාණ ප්‍රඥප්තීන් අරමුණු කරණ කල්හි තදාලම්බණයන්ගේ හේතු භූතවූ කාම තෘෂ්ණාවට ප්‍රතිපක්ෂ හෙයින්, තදාලම්බණ නූපදිත්.