අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සෝතාපන්න ආර්‍ය්‍ය පුද්ගලයා

සෝවාන් ඵලයට පැමිණි ආර්‍ය්‍ය පුද්ගලයා හට, අටළොස් ක්‍රියා ජවන්ය, දිට්ඨිගත සම්ප්‍රයුක්ත අකුසල් සතරය, විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතය, සෝතාපන්න ඵල චිත්තය හැර ඉතිරි ලොකොත් තර සිත් සතය යන සිත් තිහ නොලැබේ. එක්වරක් ලැබුණ සෝවාන් මාර්ග සිත නැවත නොලැබේ. සෙසු මාර්ග ඵලයන්ට නො පැමිණි බැවින් ඒ මාර්ග ඵල සිත් සය ද නො ලැබෙන්නාහ. සොවාන් මාර්ගක්ෂණයේදී සමුච්ඡෙද වශයෙන් නැසූ අකුසල් සිත් පහ නැවත ඒ චිත්ත සන්තානයෙහි නූපදී. ඉතිරි සිත් පනස, එනම්:- දිට්ඨිගත විප්‍රයුක්ත සිත් සතර, දොස මුල දෙසිත, උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත, හසිතුප්පාදය හැර ඉතිරි අහේතුක සිත් සතළොස, මහා කුසල් සිත් අට, මහා විපාක සිත් අට මහග්ගත කුසල් නවය සෝතාපත්ති ඵල සිත යන සිත් පනස ලැබේ.