අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මරණාසන්න වීථි

මරණාසන්න කාලයෙහි සිතට නිශ්‍රයවූ හෘදය වස්තුව ඉතා දුර්වල බැවින් මරණාසන්න චිත්ත වීථියෙහි ජවන් සිත් පසක් උපදී.

කාම භූමියෙහි හෝ රූපාවචර අරූපාවචර භූමියෙහි හෝ මැරෙන්නාවූ සත්ත්වයන්ට මරණාසන්න ජවන වශයෙන් කාමාවචර ජවන්ම ඇතිවීම ස්වභාව ධර්මයකි. එබැවින් මරණාසන්න චිත්ත වීථි වශයෙන් ඇතිවන්නේ කාමාවචර ජවන් උපදනා චිත්ත වීථියක්ම ය.

මරණාසන්න චිත්ත වීථි දෙවැදෑරුම් වේ. එනම් පඤ්චද්වාර මරණාසන්න වීථි, මනොද්වාර මරණාසන්න වීථි යන දෙකය. එයින් පඤ්චද්වාර චිත්තවීථි පසෙකි. එනම්:- චක්ඛුද්වාර වීථි, සොතද්වාර වීථි, ඝාණද්වාර වීථි, ජිව්හාද්වාර වීථි, කායද්වාර වීථි යන පසයි. මේ පඤ්චද්වාර මරණාසන්න චිත්ත වීථි පසෙන් එක් එක් ද්වාරයක හටගන්නාවූ චිත්ත වීථි සිව් වැදෑරුම් වේ. මෙසේ මරණාසන්න චිත්ත වීථි වශයෙන් සූවිසි (24) චිත්ත වීථීන් ලැබෙන බව යුතුයි.

චක්ඛුද්වාරයෙහි ලැබෙන මරණාසන්න චිත්ත වීථි සතර නම්:--

  1. ජවනයට අනතුරුව චුතිය වන වීථිය
  2. ජවන භවඞ්ගයට අනතුරුව චුතිය වන වීථිය
  3. තදාලම්බණයට අනතුරුව චුතිය වන වීථිය
  4. තදාලම්බණ භවංගයට අනතුරුව චුතිය වන වීථිය.

නොරහත් පුද්ගලයන්ගේ මරණාසන්න කාලයේදී මේ භවයාගේ සිඳීමට අනතුරුව මතු භවයක උත්පත්තිය හට ගන්නා බැවින්, එයට හේතුවන්නාවූ කුසලා කුසල කර්ම අරමුණක් හෝ කම්ම නිමිති අරමුණක් හෝ, ගතිනිමිති අරමුණක් හෝ ගෙණ මරණාසන්න චිත්ත වීථියක් හට ගන්නේය.

මෙයින් කම්ම යනු ප්‍රතිසන්ධිජනක කුසලා කුසල චෙතනා සංඛ්‍යාත ධම්මාරම්මණය වේ. එය අතීත කාලික වූද, අධ්‍යාත්මිකවූද, ආරම්මණයකි. මෙහි චෙතනා යයි කී කල්හි චෙතනා චෛතසිකය පමණක් නොව, සසම්ප්‍රයුක්ත කුසලා කුසල චිත්තයම ගත යුතුයි.

කම්ම නිමිති යනු ෂඩාරම්මණයයි. එයද කර්මය කරණ කාලයෙහි ලබන ලද්දවූ, කර්මයට උපකාරවූ, කඩු, දුනු, ඊ, හෙල්ල, මුගුරු, වෙහෙර, විහාර, ආහාර, සිවුරු, ධජ, පතාක, ආදී ප්‍රත්‍යුත්පන්න, අතීත, අධ්‍යාත්ම, බාහිර උපකරණයෝයි. ඔවුන් අතුරෙන් කඩු ආදිය ප්‍රතිසන්ධි ජනක අකුසල කර්මයට අරමුණු වන කර්ම නිමිති වෙත්. විහාරාදිය කුසල කර්මයට අරමුණු වන කම්ම නිමිත්ත වේ.

ගතිනිමිත්ත, යනු රූපාදී ආරම්මණයෝයි. එයද අපත් භව යෙහි ලැබිය යුතු මව් කුස, දෙව් විමන්, කප්රුක්, පර්වත, වන, ගිනිදැල්, ආදියෙහි පිහිටි ප්‍රත්‍යුත්පන්නවූ බාහිරාරම්මණය වේ. ඇතැම් විට ආධ්‍යාත්මද වන්නේය.

1. මෙයින් ප්‍රත්‍යුත්පන්න අරමුණක් ගෙණ මරණාසන්න චිත්ත වීථිය හට ගන්නා කල්හි, එක් අතීත භවඞ්ගයක් ගතවී භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡේදය පඤ්චද්වාරාවජ්ජනය චක්ඛු විඤ්ඤාණය, සම්පටිච්ඡනය, සන්තීරණය, වොට්ඨපනය යන සිත් ඉපිද නිරුද්ධ වූ පසු මරණාසන්න ජවන් සිත් පහක් පිළිවෙලින් ඉපිද නිරුද්ධවෙත්. එයට අනතුරුව චුති සිත පහළ වන්නේය. මෙයින් මරණාසන්න චිත්ත වීථියගේ කෙළවරත්, එම භවයේ කෙළවරත් වන්නේය. චුති චිත්තයට අනතුරුව පහළ වන්නේ පටිසන්ධි විපාක සිතය. ඒ සිත අළුත් භවයක් උපදවමින් එම අළුත් භවයේ පළමුවෙනි සිතද වන්නේය.

මෙය පළමුවෙනි චක්ඛුද්වාරික මරණාසන්න චිත්ත වීථිය වේ.

... ති න ද ප ච සං ණ වො ජ ජ ජ ජ ජ චු + පටිසන්ධි හ...

මෙහි ජවනයට අනතුරුව චුතිය ඇතිවේ.

  1. දෙවෙනි චක්ඛුද්වාරික මරණාසන්න චිත්ත වීථිය ජවන භවඞ්ගයට අනතුරුව චුතිය වන වීථියයි. මේ චිත්ත වීථියේ මරණාසන්න ජවන් අතුරෙන් පස්වෙනි ජවනය ඉපිද නිරුද්ධ වීමෙන් පසු භවඞ්ග සිතක් ඇතිවී, එයට අනතුරුව චුති සිත පහළ වේ.

...ති න ද ප ච සං ණ වො ජ ජ ජ ජ ජ භ චු + පටිසන්ධි හ...

  1. තුන්වෙනි චක්ඛුද්වාරික මරණාසන්න චිත්ත වීථිය ජවන තදාරම්මණයන්ට අනතුරුව චුතිය වන චිත්ත වීථියයි. එහි පස්වෙනි ජවනයට අනතුරුව එම ජවනයාගේ අරමුණෙහිම එල්බගෙන තදාරම්මණ දෙසිතක් ඇතිවී, එයට අනතුරුව චුති සිත පහළවේ.

...ති න ද ප ච සං ණ වො ජ ජ ජ ජ ජ ත ත චු + පටිසන්ධි හ...

  1. සතර වෙනි චක්ඛුද්වාරික මරණාසන්න චිත්ත වීථිය, තදාරම්මණ භවඞ්ගයට අනතුරුව චුතිය වන චිත්ත වීථියයි. එහි දී තුන්වන චිත්ත වීථියෙහි මෙන් ජවනයන්ට පසුව තදාරම්මණ දෙසිත ඉපිද නිරුද්ධ වූ පසු නැවත එක් භවඞ්ග සිතක් පහළ වී, එයට අනතුරුව චුති චිත්තය පහළ වන්නේය. ...ති න ද ප ච සං ණ වො ජ ජ ජ ජ ජ ත ත භ චු + පටිසන්ධි භ...

මෙසේ චක්ඛුද්වාරික මරණාසන්න චිත්ත වීථියට අනුව චක්ඛු විඤ්ඤාණය වෙනුවට, සොතවිඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය යොදා ගැනීමෙන් සොතද්වාරික ඝාණ ද්වාරික, ජිව්හාද්වාරික කායද්වාරික මරණාසන්න චිත්ත වීථි සතර සතර බැගින් යොදාගත යුතුයි.

එපරිද්දෙන්ම මනොද්වාරික මරණාසන්න චිත්තවීථි සතරක්ම ලැබෙන්නේය. එනම්:-

  1. ජවනයට අනතුරුව චුතිය වන මනොද්වාරික වීථිය
  2. ජවන භවංගයට අනතුරුව චුතිය වන මනොද්වාරික වීථිය
  3. තදාරම්මණයට අනතුරුව චුතිය වන මනොද්වාරික වීථිය
  4. තදාරම්මණ භවංගයට අනතුරුව චුතිය වන මනොද්වාරික වීථිය

මේ චිත්ත වීථින්හි සිත් හටගන්නා පිළිවෙල මෙසේයි:-

  1. න ද ම ජ ජ ජ ජ ජ චු - පටිසන්ධි භ...
  2. න ද ම ජ ජ ජ ජ ජ භ චු - පටිසන්ධි භ...
  3. න ද ම ජ ජ ජ ජ ජ ත ත චු - පටිසන්ධි භ...
  4. න ද ම ජ ජ ජ ජ ජ ත ත භ චු - පටිසන්ධි භ...

මෙකී සතරාකාරයෙන් හට ගන්නා පඤ්චද්වාරික, මනොද්වාරික මරණාසන්න චිත්ත වීථි අතුරෙන් තදාරම්මණයන් ඇතිවන්නාවූ තුන්වෙනි සතරවෙනි චිත්ත වීථි රූපී, අරූපී බ්‍රහ්මයන්ට නොලැබේ. ඔවුන්ට තදාරම්මණ නොලැබෙන හෙයිනි.

අසංඥාතලයෙහි වසන පුද්ගලයන්ට රූපයම චුතිය වේ.

මරණාසන්න ජවන් වශයෙන් ඇතිවන්නේ කාම ජවනයෝය. එනම්:- ලොභ ජවන්, දොස ජවන්, මෝහ ජවන්, කාමාවචර මහා කුසල ජවන් යන මොහුය.

සප්ත කාම භූමියෙහි ලොභ මූලික අකුසල් රැස්කොට අනතුරු ආත්ම භාවයෙහි අපාය පටිසන්ධිය ගන්නේවි නම් ලොභ මූලික ජවනයන්ම මරණාසන්නයේදී පහළවෙත්.

ද්වේෂ මූල අකුසල් රැස්කොට අනතුරු ආත්ම භාවයෙහි අපායොත්පත්තිය ගන්නේවී නම්, මරණාසන්න ජවන් වශයෙන් ද්වේෂ මූලික ජවන් පහළ වේ.

මෝහ මූලික අකුසල් රැස්කොට, අනතුරු ආත්ම භාවයෙහි අපාය පටිසන්ධිය ගන්නේවී නම්, මෝහ මූලික ජවනයන්ම මරණාසන්න කාලයේදී පහළ වේ.

කාම භූමියෙහි දානාදි පින්කම් කොට හෝ රූපාරූපධ්‍යාන උපදවා හෝ අනතුරු ආත්ම භාවයෙහි සුගතියෙහි හෝ, රූපා රූප භවයෙහි හෝ, ප්‍රතිසන්ධිය ගන්නේවී නම්, කාමාවචර මහා කුසල් ජවන් පහළ වේ. රූපාරූප භවයන්හි උපන් සත්ත්වයන්ට ඒ භවයෙන් චුතවන්නාවූ කල්හි මහා කුසල් ජවනයෝම මරණාසන්න ජවන් වශයෙන් පහළ වෙත්. ඔව්හු ශ්‍රේෂ්ඨ භවයෙකින් චුතව, අනතුරු ආත්ම භවයෙහි දුගති ප්‍රතිසන්ධියක් නොලබන හෙයින් අකුසල් ජවන් මරණා සන්නයේදී නූපදිත්.

සතර අරූප තලයෙන් චුතව, කාම සුගතියෙහි උපදින සත්ත්ව යෝ ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක්ම ලබන්නාහුය. කිසිසේත් ද්විහේතුක ප්‍රතිසන්ධියක් නොලබන්නාහ.

සොළොස් රූප භවයෙන් චුතව, කාම සුගතියෙහි උපදින්නාවූ පුද්ගලයන්ට ත්‍රිහේතුක හෝ ද්විහේතුක හෝ ප්‍රතිසන්ධියක් මුත් අහේතුක ප්‍රතිසන්ධියක් කිසි කලෙකත් නොලැබෙන්නේය.

පුද්ගලයන්ගේ වශයෙන් සප්තකාම භූමියෙන් චුත වන්නාවූ පෘථග්ජනයන්ට ලෝභ ජවන් හෝ, ද්වේෂ ජවන් හෝ මෝහ ජවන් හෝ මහා කුසල් ජවන් හෝ, කර්මානුරූප පරිද්දෙන් පහළ වෙත්.

රූපාරූප භූමියෙහි උපන්නාවූ ත්‍රිහේතුක පෘථග්ජනයන්ට හා සෝවාන් සකෘදාගාමි, අනාගාමි යන ඵලස්ථ තුන්දෙනාටද, මරණාසන්න කාලයේදී මහා කුසල් ජවන්ම පහළවෙත්.

මරණාසන්න කාලයෙහි බොහෝසෙයින් ලොභ ජවන් ඇති වුවහොත් අනතුරු ආත්මභාවයෙහි ප්‍රේත ලෝකයෙහිම උපදනාහු වෙත්. ඒ ප්‍රේතයන් අතුරෙනුදු, නිජ්ඣාම තණ්හිකාදී වූ ප්‍රේතයන්ව උපදනාවුන්ගේ පටිසන්ධිය, උපෙක්ඛා සහගත අකුසල විපාක සන්තීරණ සිතින්ම, අපායට ඇතුළත්ව හටගන්නේය. ඥාති ප්‍රේතව උපදනා ප්‍රේතයන්ගේ ප්‍රතිසන්ධිය, කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ චිත්තයෙන් චාතුම්මහාරාජිකයට ඇතුළත්ව හටගන්නේය.

මරණාසන්න කාලයේදී ද්වේෂ මූලික ජවන් පහළවූ කල්හි, අනතුරු ආත්ම භාවයෙහි අපාය ප්‍රතිසන්ධිය ගන්නේය.

මරණාසන්න කාලයේදී මෝහ මූලික ජවන් ඇති සත්ත්ව තෙමේ, බොහෝ සෙයින්ම අනතුරු ආත්ම භාවයෙහි තිරිසන් අපායෙහි ප්‍රතිසන්ධිය ගන්නේය.

ප්‍රතිසන්ධි විපාක විඤ්ඤාණයෝ එකුන්විස්සකි. (19) එනම්:කාමාවචර ප්‍රතිසන්ධි දසය, සහ මහග්ගත ප්‍රතිසන්ධි නවය ය. මේ එකුන්විසි ප්‍රතිසන්ධි විඤ්ඤාණයන්ගෙන් සූවිසි ප්‍රතිසන්ධියක් ලැබෙන්නේය. මේ භෙදය භූමි සහ ආරම්මණයන්ගේ වශයෙන් සළකනු ලැබේ.

එනම්:- භූමි සතරෙකි - අපාය භූමි, කාම සුගති භූමි, රූප භූමි, සහ අරූප භූමි යන සතරය.

ආලම්බණයෝද සතර දෙනෙකි. එනම්:- අතීතාරම්මණ, වර්ත- මානාරම්මණ, ප්‍රඥප්තාරම්මණ, සහ මහග්ගතාරම්මණ යන සතරය.

අපායෙන් චුතව අපායෙහිම, අතීත, වර්තමාන වශයෙන් දෙයාකාර අරමුණු ගෙණ ලබන ප්‍රතිසන්ධි දෙකෙකි. (2)

අපායෙන් චුතව කාම සුගතියෙහි අතීත, වර්තමාන වශයෙන් දෙයාකාර අරමුණු ගෙණ ලබන ප්‍රතිසන්ධි දෙකෙකි. (2)

කාම සුගතියෙන් චුතව, කාම සුගතියෙහිම, අතීත වර්තමාන වශයෙන් දෙයාකාර අරමුණු ගෙණ ලබන ප්‍රතිසන්ධි දෙකෙකි.(2)

කාම සුගතියෙන් චුතව, අපායෙහි අතීත, වර්තමාන වශයෙන් දෙයාකාර අරමුණු ගෙණ ලබන ප්‍රතිසන්ධි දෙකෙකි.(2)

කාම සුගතියෙන් චුතව, රූප භූමියෙහි, ප්‍රඥප්තාරම්මණ ගෙණ ලබන එක් ප්‍රතිසන්ධියකි. (1)

කාම සුගතියෙන් චුතව, අරූප භූමියෙහි ප්‍රඥප්ති, මහග්ගත වශයෙන් දෙයාකාර අරමුණු ගෙණ ලබන ප්‍රතිසන්ධි දෙකෙකි.(2)

රූප භූමියෙන් චුතව, රූප භූමියෙහි, ප්‍රඥප්තාරම්මණය ගෙණ ලබන එක් ප්‍රතිසන්ධියෙකි.(1)

රූප භූමියෙන් චුතව, අරූප භූමියෙහි, ප්‍රඥප්ති, මහග්ගත වශයෙන් දෙයාකාර අරමුණු ගෙණ ලබන ප්‍රතිසන්ධි දෙකෙකි.(2)

රූප භූමියෙන් චුතව, කාම සුගතියෙහි, අතීත, වර්තමාන වශයෙන් දෙයාකාර අරමුණු ගෙණ ලබන ප්‍රතිසන්ධි දෙකෙකි.(2)

අරූප භූමියෙන් ප්‍රඥප්තාලම්බණ චුතියෙන් පරව කාම සුගතියෙහි අතීත, වර්තමාන වශයෙන් දෙයාකාර අරමුණු ගෙණ ලබන ප්‍රතිසන්ධි දෙකෙකි.(2)

අරූප භූමියෙන්, මහග්ගතාරම්මණ චුතියෙන් පරව කාම සුගතියෙහි අතීත, වර්තමාන වශයෙන් දෙයාකාර අරමුණු ගෙණ ලබන ප්‍රතිසන්ධි දෙකෙකි.(2)

අරූප භූමියෙන්, ප්‍රඥප්තාලම්බණ චුතියෙන් පරව අරූප භූමියෙහි ප්‍රඥප්ති, මහග්ගත වශයෙන් දෙයාකාර අරමුණු ගෙණ ලබන ප්‍රතිසන්ධි දෙකෙකි.(2)

අරූප භූමියෙන්, මහග්ගතාලම්බණ චුතියෙන් පරව අරූප භූමියෙහිම ප්‍රඥප්ති, මහග්ගත වශයෙන් දෙයාකාර අරමුණු ගෙණ ලබන ප්‍රතිසන්ධි දෙකෙකි.(2)

සැකෙවින් සූවිසි ප්‍රතිසන්ධි මෙසේ යි:-

අපායෙන් සැව පටිසන්ධි සතරය 4

කාමසුගතියෙන් සැව පටිසන්ධි සතය 7

රූප භූමියෙන් සැව පටිසන්ධි පසය 5

අරූප භූමියෙන් සැව පටිසන්ධි අටය 8

24

කාම සුගතියෙන් සැව සියලු තන්හිම පටිසන්ධිය ලබත්. නමුත් අපායෙන් සැව රූපා-රූප භූමි පටිසන්ධියක් නැත.

රූප භූමියෙන් සැව අපාය පටිසන්ධියක් නැත.

අරූප භූමියෙන් සැව රූප භූමියෙහි පටිසන්ධියක් නැත.

අරූප භූමියෙන් සැව යට යට අරූප භූමියෙහි පටිසන්ධියක් නැත.

අරූප භූමියෙන් සැව අපායෙහි පටිසන්ධියක් නැත.

මේ සූවිසි ප්‍රතිසන්ධීන් අතුරෙන් කාම ප්‍රතිසන්ධි දසයද අතීතාලම්බණික හා වර්තමානාලම්බණික ද වෙත්.

විඤ්ඤාණඤ්චායතන, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ප්‍රතිසන්ධි දෙක අතීතාලම්බණික වෙත්.

රූපාවචර ප්‍රතිසන්ධි පස සහ ආකාශානඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන යන ප්‍රතිසන්ධි සත, ප්‍රඥප්තාලම්බණික වෙත්.

තවද, ගතිනිමිත්ත එල්බගෙණ මනොද්වාරයෙහි උපදනා මරණාසන්න වීථියෙහි චුති සිතින් පසුව අභිනව ප්‍රතිසන්ධි චිත්තය ඇතුළු සිත් සතරකටද, තදාලම්බණ නැතිවුවහොත්, සිත් සයකටද, ප්‍රත්‍යුත්පන්න ආලම්බණය ලැබේ. වර්තමාන රූපාරම්මණයාගේ ආයුෂ වශයෙන් චිත්තක්ෂණ සතළොස (17) ගතවන්නේ එතැන්හිදිය.

ශෛක්ෂ, අශෛක්ෂ, පෘථග්ජන යන ත්‍රිවිධ පුද්ගලයන්ගේම මරණාසන්න ජවනයෝ කාමාවචර වෙයි. ශෛක්ෂ හා පෘථග්ජනයන්ගේ මරණාසන්න වීථින්හි කුසලාකුසල කාම ජවනයන් විසින් කර්මාදී අරමුණු ගණු ලබන හෙයින් චුතියට අනතුරුව ප්‍රතිසන්ධිය ලැබේ.

රහතන් වහන්සේලා පිළිබඳවූ කාමාවචර ක්‍රියා ජවනයන් විසින් ත්‍රෛභූමික සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්මාදී වශයෙන් ගණු ලබන හෙයින් චුතියට අනතුරුව ප්‍රතිසන්ධියක් නැත්තේය. රහතන් වහන්සේගේ චුතිය ලැබෙන්නට පෙර, ඒ ආසන්න සමයෙහි කෙළ ලක්ෂ ගණන් සමාපත්තීන්ට සම වදිති.