අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අකුසල චෛතසික

අරමුණක් රැගෙන සිතක් හටගන්නා කල්හි, ඒ අරමුණ ගන්නා ආකාරයට අනුව සිතෙහි පහළවන්නා වූ ගති හෙවත් චෛතසිකයෝ ද වෙනස් වේ. ආළම්බණ ස්වභාවය ඇති සැටි ගැනීමේ දී පහළවන සෝභන චෛතසිකයෝ, ආළම්බණ ස්වභාවය වරදවා ගැනීමේදී පහළ නොවන්නාහ. අරමුණ වරදවා ගන්නා කල්හි උපදනා සිත් වලින් අනර්ථයක්ම සිදුවන්නේ ය. යහපත සලසන්නා වූ සිත්හි යෙදෙන චෛතසිකයෝ සෝභන චෛතසිකයෝයි. අනර්ථය සිදු කරන අකුසල් සිත්හි යෙදෙන චෛතසිකයන්ට, අකුසල චෛත සිකයෝ යයි කියනු ලැබේ. පෘථග්ජන සත්ත්වයා වනාහී සතර මහා භූතයන්ගේ විකාර ස්වභාවය, පෙනෙන, ඇසෙන, දැනෙන ආකාරයෙන් ම පිළිගැනීමට පුරුදු වී සිටින බැවින්, බොහෝ සෙයින්ම මුළා වීමෙන්, අයහපත යහපත වශයෙන් ද, යහපත අයහපත වශයෙන් ද ගෙන නොයෙක් දුක් හිරිහැර, කරදර ආදීන්ට භාජන වෙමින් සසර ඇවිදින්නේය. මෙසේ බොහෝ කලක් අඳුරෙහි ගමන් කරන්නාක් මෙන්, අරමුණු වරදවා ගන්නට පුරුදු වූ සත්වයා හට වැඩි වශයෙන් ඇති වන්නේ මුළා වූ ස්වභාවයකි. එබඳු මුළා වූ හැම අවස්ථාවන්හි සිත්වල යෙදෙන්නේ අනර්ථයම ගෙන දෙන්නා වූ පාප ගතිමය. ඒ පාප ගති හෙවත් අකුශල චෛතසිකයන් නිසා භයානක අපා දුකට ද පැමිණෙන්නේය. සසරින් මිදෙනු කැමැති නුවණැති පුද්ගල තෙමේ මේ අනර්ථය සළසන්නාවූ පාප ගති හොඳින් දැන හැඳිනගෙන, එයින් වන විපාක හා මිදෙන මාර්ග ද අසා ඉගෙණ, නුවණත් වීර්‍ය්‍යයත් දියුණු කර ගනිමින් පාපයන්ගෙන් වැළකීමට මහත් උත්සාහයක් දරන්නේය.

අකුසල් සිත් දොළොසෙහි යෙදෙන්නා වූ මේ පාප ගති හෙවත් අකුසල චෛතසිකයෝ තුදුසෙකි. එනම්:- මොහය, අහිරිකය අනොත්තප්පය, උද්ධච්චය, ලොහය, දිට්ඨිය, මානය, දොෂය, ඉස්සාය, මච්ඡරිය, කුක්කුච්චය, ථිනය, මිද්ධය, විචිකිච්ඡාය යන චෛතසිකයෝ දහහතර දෙනාය. මෙයින් මොහය, අහිරිකය අනොත්තප්පය, උද්ධච්චය යන චෛතසික සතර සියළුම දොළොස් අකුසල් සිත්හිම යෙදෙන හෙයින් අකුසල සාධාරණ චෛතසික නම් වෙති. ඉතිරි දසය, අවස්ථා පරිදි ඒ ඒ අකුසල් සිත්හි යෙදෙත්.