දිට්ඨිය (6)
දිට්ඨිය යනු දැකීමට කියන නමෙකි. අකුසල චෛතසිකයක් වශයෙන් දිට්ඨිය යයි කියනු ලබන්නේ සම්‍යග්දෘෂ්ටිය, මිථ්‍යාදෘෂ්ටිය යන දෙවැදෑරුම් දෘෂ්ටීන් අතුරෙන් මිථ්යාදෘෂ්ටියටය. පෘථග්ජන සත්ත්වයා මෝහයෙන් මුළා වූ බැවින්, දුටු පමණින්, ඇසූ පමණින්, විඳිනු පමණින් ඒ ඒ දෙය හමුවූ ආකාරයෙන් ම ගැනීමට සසර දී පුරුදු කළ බැවින්, වැඩි වශයෙන් වැරැදි ලෙසම දකින්නට ඔහු පුරුදුවී සිටී. යමක් පිළිබඳව නිවැරදි දැකීමක් ඇති වීමට, ප්‍රඥාව ඇති විය යුතුයි. මෝහයෙන් සත්‍යය හෙවත් සැබෑ තත්වය මුවහ කරනු ලබන බැවින් අසත්‍යය හෙවත් වැරැදි ස්වභාවයෙන් දැකීම වන්නේය. යුක්තිසහගතව හේතු ප්රත්යයන්ට අනුව ඇති සැටි නොගෙන, කරුණු වරදවා ගන්නා ස්වභාවය මිථ්‍යාදෘෂ්ටිය නම් වේ. කෙලෙස් සහිත පුද්ගලයාගේ ප්‍රධාන පැතීම සැප ලබා ගැනීමය. සැප විඳිනු පිණිස සැප ගෙන දෙන මාර්ගසොයා ඇවිදින පුද්ගලයාහට ප්‍රිය වස්තුවක් හෝ ප්‍රිය අරමුණක් හමු වූ කල්හි එහි ඇලීම ස්වභාවයකි. මෝහය සමඟ යෙදුන ලෝභය ඇති සිතට අරමුණෙහි පිණවීම මිස එහි ඇති සැටි කල්පනා කිරීමේ ශක්තියක් නැත. එබැවින් සැප විඳීමේ අදහසින්, හමුවූ හැම ඉෂ්ට අරමුණක්ම, තදින් අල්වාගෙන, එහි විශ්වාසය තබා සැපය කැමැති වනු මිස, එහි වරද හෝ නිවැරද ඔහුට නොපෙනෙන්නේය. සතුන් මැරීම, අන් සතු වස්තු ගැනීම කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම කේලාම් කීම යනාදිය තමාගේ සැපතට හේතුවේ යයි ද, එවැනි දේ කිරීම නිවැරදි යයි සිතා වරදක්ම කොට මහත් දුකට පැමිණෙන්නේ ය.
ප්‍රාණඝාතයෙහි දොස් නැත, අදත්තාදානයෙහි වරදක් නැත. කාම මිථ්‍යාචාරයෙහි අනිටු විපාක නැත, කුසලාකුසල කර්ම නැත, විපාක නැත, හේතුඵල නැත, පරලොව නැත, අතීතය නැත, අනාගතය නැත, සදාකාලික ස්වර්ගයක් ඇත, මැවුම්කාර දෙවියෙක් බඹෙක් ඇත. සෑම දෙයක්ම මනුෂ්‍යයාගේ ප්‍රයෝජනය පිණිස මවන ලද්දේය යනාදි වශයෙන් කරුණු වරදවා ගනු ලබන්නේ මේ මිථ්‍යාදෘෂ්ටිය හේතු කොට ගෙනමය. ශාශ්වත දෘෂ්ටිය, උච්ඡෙද දෘෂ්ටිය යයි ප්‍රධාන මිථ්‍යාදෘෂ්ටි දෙකකි. කර්මපථ බවට පැමිණෙන මිථ්‍යාදෘෂ්ටි තුනෙක් වේ. දන්දීම. සිල් රැකීම, භාවනා කිරීම යනාදියෙහි ඵලයක් නැතැයි ගන්නා නාස්ථිකදෘෂ්ටිය ද, මේ ලොකයෙහි සත්ත්ව යෝ අහේතුකව හටගන්නේයයි දැඩි වශයෙන් ගන්නා අහේතුක දෘෂ්ටිය ද, කුසලකර්මයෙහි ඉෂ්ට විපාක හෝ අකුසල කර්මයෙහි අනිෂ්ට විපාක හෝ නැතැයි දැඩි වශයෙන් ගන්නා අකිරිය දෘෂ්ටිය ද යන තුන නියත මිථ්‍යාදෘෂ්ටි වෙති. මේ දිට්ඨිය ලොභමූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරෙහි මිස අන් සිතක නොයෙදෙන්නේය.