අභිධර්මාර්ථ ප්‍රදීපිකා

(දෝෂය 8)

අප්‍රිය හෙවත් නො කැමැති අරමුණෙහි කිපීම ලක්ෂණ කොට ඇති මේ ද්වේෂය ද, සිත කිලිටි කරවන බලවත් අකුසල චෛතසික යකි. දණ්ඩෙන් පහර ලත් සර්පයෙකු මෙන් අප්‍රිය අමනාප අරමු ණෙහි කිපෙන්නේ මේ ද්වේෂය ඇති හෙයිනි. තරහව, ක්‍රෝධය වෛරය යනාදි වශයෙන් දැක්වෙන්නේත් මේ ද්වේෂයාගේ නොයෙක් ආකාරයෝයි. සැඩ පරුෂ ගතියෙන් ද, රෞද්‍ර භාවයෙන් ද, සිත දූෂ්‍ය කිරීම මෙහි ප්‍රධාන ලක්ෂණය වේ. ගින්න දර දවන්නාක් මෙන් මේ ද්වේෂය ද, චිත්ත සන්තානය දවන ධර්මයකි. යකඩෙහි හට ගත් මලය යකඩය විනාශ කරන්නාක් මෙන් ද, අධ්‍යාත්මක චිත්ත සන්තානයෙහි හටගත්තා වූ ද්වේෂය, මේ ජාතියෙහිත් තමා විනාශ කොට, මරණින් මතු අපාය දුකට ද පමුණුවන්නේ ය.

අප්‍රිය අරමුණක් හමුවූ කල්හි එයට විරුද්ධව ඇතිවන ස්වභාවයට කෝපය යයි ද අප්‍රිය අරමුණ බලවත් වූ බව දැන එයින් ඈත්වීමට අදහස් කරවන ද්වේෂයට භය යයි ද අනිෂ්ට අරමුණු හමුවූ කල්හි ඇතිවන හැකිළෙන ස්වභාවයට පිළිකුල යයි ද කැමැති දෙය නො ලැබීම, අදහස ඉටු නොවීම ආදියෙහි දී ඇතිවන සිත් තැවිල්ලට දොමනස්ස යයි ද, කණගාටුව යයි ද, අදහස් පරිදි ඵල නොලැබෙන කල්හි ඇතිවන නොසතුටට අනභිරතිය යයි ද, බලාපොරොත්තු වූ පැහැදීම වෙනුවට නො සතුට ඇති වීමේ දී අප්‍රසාදය යයි ද, එසේම පලිගැනීමේ අදහසය, විනාශ කරනු කැමැත්තය, යනාදී නොයෙක් ආකාරයෙන් මේ ද්වේෂය පවතින බව දත යුතුය. දොළොස් අකුසල චිත්තයන් අතුරෙන් ද්වේෂ මූල පටිඝ සම්ප්‍රයුත්ත සිත් දෙකෙහි පමණක් මේ ද්වේෂ චෛතසිකය යෙදෙන්නේය. මේ ද්වේෂය මාර්ග සිත් තුනෙකින් නැසිය යුතු වේ. සෝවාන් සකෘදාගාමී මාර්ග ඥානයන්ගෙන් එය තුනී කොට අනාගාමී මාර්ගඥානයෙන් සමුච්ඡෙද වශයෙන් නසනු ලැබේ.