අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අනොත්තප්පය (3)

කාය වාග් දුශ්චරිතාදීන්ට භය නොවීම හෙවත් තැති ගැන්මක් ඇති නොවීම ලක්ෂණ කොට ඇති මේ අනොත්තප්ප චෛතසිකය ද, අකුසල් සිත් දොළොසෙහිම යෙදෙන අකුසල සාධාරණ චෛතසික යෙකි. අරමුණු ස්වභාවය වරදවා ගැනීමේදී පිළිකුල් නො කරණ අහිරිකය මෙන් මේ අනොත්තප්පය ද, අරමුණු ස්වභාවය වරදවා ගැනීමේදී බියක් තැතිගැන්මක් ඇතිනොවන්නේ ය. වරද කිරීමේදී ඇතිවන අනිෂ්ට විපාකයන්, මෝහයෙන් මුළාවූ තැනැත්තාට නො වැටහෙන්නේය. වරදෙහි ආදීනව නො දත් පුද්ගලයා භයක් චකිතයක් නැතිවම වරද කරන්නේය. පව් කළ තැනැත්තාට මෙලොවදී පමණක් නොව, පරලොවේදීත් සතර අපායන්හිදී ත්, විඳින්නට සිදුවන දුක් සමූහය ගැන සිතන විට බිය උපදවන්නේමය. මෝහයෙන් වසා ගන්නා ලද චිත්ත සන්තානයට මේ බිය නො දැනෙන්නේ ය. සසර පුරුද්දක් වශයෙන්ම, නො දැනුවත්වම, පාපයට භය නොවනමේ අනොත්තප්පය නම් ස්වභාවය, පෘථග්ජන සත්ත්වයාට ඇතිවේ. එයින් වැළකීමේ ශක්තියක් ඔහුට නැත්තේය. පළඟැටි තෙමේ පහන් සිළු ආලෝකයට රැවටී, රූප තෘෂ්ණාවෙන් මුළා වී, ඒ පහන් වැටියේ හැප්පීමෙන් පිලිස්සී දිවිනසා ගන්නාක් මෙන්, අඥාන පුරුෂ තෙමේ ද, ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර, මුසාවාද ආදී කොට ඇති කායවාග් දුශ්චරිතයන් ඉතා සැපවත් යයි සළකා, එයට රැවටී, මේ අනොත්තප්පය හේතුකොටගෙන, දුශ්චරිත නමැති ගින් නෙන් දැවී නොයෙක් දුක් කරදර ආදීන්ට පැමිණෙන්නේ ය.

අහිරිකය, අනොත්තප්පය යන මේ චෛතසික දෙක, සත්ත්වයන් අකුසලයෙහි යොදවන මහාබල දෙකෙකි. මේ ශක්ති දෙක නැතිව අකුසල් කළ නොහැකි වේ.