ඉස්සාව [9]
අනුන්ගේ සම්පත් යස ඉසුරු ආදිය නුරුස්නා බව හෙවත් නො ඉවසන ස්වභාවය ඊර්ෂ්යාව නමි. මොහයෙන් මුළා වූ පුද්ගල තෙමේ පර සම්පතක් හෝ දියුණුවක් හෝ දැක, එය ඉවසා ගත නොහැකිව, නොසතුටට පත්ව, එහි විනාශය කැමැති වන්නේය. ද්වේෂයාගේ යහළුවෙක් වශයෙන් සැලකිය යුතු මේ ඉස්සා චෛතසිකය දෝෂ මූල සිත් දෙක්හිම ලැබෙන්නේය. ඊර්ෂ්යාව සිත් සතන් දවන ධර්ම යකි. බාහිර සන්තානයම අරමුණු කරමින් උපදනා මේ ඊර්ෂ්යාව අනුන්ගේ විපතෙහි හා දුකෙහි ද සතුටු ආකාරයක් හා අනුන්ගේ සැපතෙහි හා දියුණුවෙහි ද නොසතුටු ආකාරයක් ද, දක්වන්නේය සැප විඳින්නන් දැක ඔවුන්ට නින්දා අපහාස කරති. පින් දහම් කරන, සිල් රකින, භාවනා කරන පින්වතුන් දැක ඔවුන්ගේ ඒ ගුණ මකා, එය කුහක ක්රමයක් වශයෙන් ද, ලාභ සත්කාර ලබා ගැනීමේ ප්රයෝගයක් වශයෙන් ද පෙන්වා, ඔවුන් ගේ නුගුණම පළකරන්නේය. පස් පවින් වැළකී ගුණ දම් වඩන පුද්ගලයන් වංචක පුද්ගලයන් ලෙස දක්වන්නේය. සසර පුරුද්දක් වශයෙන්, පෘථග්ජන සත්වයා තුළ, මේ ස්වභාවය බොහෝ සෙයින් ඔවුන් නො දැනුවත්වම ඇති වේ.