මච්ඡරිය (10)
තමාගේ සම්පත් යස ඉසුරු සැඟවීම ලක්ෂණ කොට ඇති මේ මච්ඡරිය චෛතසිකය ද, ද්වේෂයාගේ බලවත් මිත්‍රයෙකු සේ දෝෂ මූල සිත් දෙක්හි පමණක් යෙදෙන අකුසල චෛතසිකයකි. තමා සතු යම් දෙයක් අන් කෙනෙකුට අයිතිවීම නො ඉවසන්නාවූ ද, තමා සතු දෙයකින් අන්කෙනෙකුට ප්රයෝජනයවීම නොඉවසන්නා වූද, තමාගේ සම්පතට සමාන සම්පතක් අන් කෙනෙකුට ඇතිවීම නො ඉවසන්නා වූද, තමාගේ සම්පත් ආදිය අන්‍යයන් දැන ගැනීම පවා නො ඉවසන්නා වූද මසුරු කම යයි කියනු ලබන්නා වූද, චිත්ත සන්තානය කිලිටි කරන්නා වූද මේ නාම ධර්මය අධ්යාත්මයම අරමුණු කරන්නේය. ඊර්ෂ්‍යාව අධ්‍යාත්මය නොව බාහිර සන්තානයම අරමුණු කරන්නේය. මසුරු තැනැත්තා තමා සතු වස්තුව සැඟවීම පමණක් නොව, තමාට ප්‍රයෝජනය නොවන දෙයක් වුවත් අනුන්ට දීම වලක්වන්නේය. හැකිනම් අනුන්ගේ දීම පවා වළක්වන්නේය.
ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, ලාභ මච්ඡරිය, වර්ණ මච්ඡරිය ධම්ම මච්ඡරිය යයි මසුරු කම් ඇති වීමට හේතු වන වස්තුන්ගේ වශයෙන් පස්වැදෑරුම් වේ.