අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අහිරිකය (2)

දෙවෙනි අකුසල සාධාරණ චෛතසිකය නම් අහිරිකයයි. කාය වාග් දුශ්චරිතාදියෙන් ලජ්ජා නොවීම ලක්ෂණ කොට ඇති මේ අහිරිකය අකුසල් සිත් දොළොසෙහි ම යෙදෙන්නේ ය. මොහයෙන් මුළා වූ පුද්ගලයාහට, අරමුණ මුවහවීම හේතුකොට ගෙන, අරමුණෙහි සැබෑතත්වය තේරුම් ගත නොහැකිව, ලජ්ජාවක්, පිළිකුලක්, හැකිලීමක් නැතිවම, ඉෂ්ට අරමුණක් හමු වූ කල්හි එහි ඇලීම ද, අනිෂ්ට අරමුණක් හමු වූ විට කිපීම ද ඇති වන්නේ ය. මොහයෙන් මුළා නො වූයේ නම් ඉෂ්ටානිෂ්ට අරමුණු හමු වූ කල්හි එහි ඇලීමක් හෝ කිපීමක් හෝ නොවන්නේ ය. තමාට එයින් අවැඩක් සිදුවේ දෝ හෝයි සිතා වැරැදි සහිත කටයුත්තක් හෙවත් අකුසල් කිරීමට පිළිකුලක් ලැජ්ජාවක් ඇති වන්නේය. ප්‍රකෘති චිත්තය හෙවත් භවාඞ්ග සිත ඉතා පිරිසිදුය. අහේතුක පටිසන්ධියක් ලැබූ පුද්ගලයෙකුට පවා භවාඞ්ග සිත වශයෙන් ලැබෙන්නේ උපෙක්ඛා සහගත සන්තීරණ සිතක් ය. එම සිතෙහි ලැබෙන්නේ අඤ්ඤසමාන චෛතසිකයන් දස දෙනෙක් පමණය. අකුසල චෛතසිකයන් කිසිවක් එහි නො ලැබෙන බැවින් ද, පාප ගති හා මිශ්‍ර නොවූ බැවින් ද ඒ සිත පවිත්‍රය. නුවණැති පුද්ගල තෙමේ මේ පවිත්‍ර වූ භවාඞ්ග චිත්තපරම්පරාව පාපගති වලින් කිලිටි කර ගැනීමට නො කැමැති වේ. එයට හාත්පසින්ම පිළිකුල් කරන්නේය. නුවණ නැති, මෝහයෙන් මුළා වූ පුද්ගල තෙමේ, මේ බව නොදත් නිසා හෝ, සසර පුරුද්දක් වශයෙන් හෝ, මේ පිළිකුල් කරන ස්වභාව ය නැති හෙයින් අකුසල් කිරීමට ලජ්ජා නොවෙයි. සූකර, සුනඛ ආදී සත්වයෝ අසූචියෙහි ඇති දුර්ගන්ධය, සුවඳක් මෙන් වැටහී, පිළිකුලක් නැතිවම ගන්ධය ඉවසමින් ප්‍රීතියෙන් එය අනුභව කරන් නාහුය. එමෙන්ම පාපයට පිළිකුල් නො කරන තැනැත්තා ද හැකිලි මක්, පැකිලීමක් නැතිවම අකුසල් කරන්නේ ය. අහිරික යයි කියනු ලබන්නේ මෝහයෙන් මුළා වූ සත්ත්වයාගේ, අකුසල් කිරීමේදී ඇති වන පිළිකුල් නො කිරීමේ ශක්තියටය. අහිරිකය නැතිව අකුසලයක් කළ නො හැකි වේ.