අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මොහය (1)

මොහය වනාහී ආළම්බණ ස්වභාවය මුවහ කිරීම ලක්ෂණ කොට ඇත්තේය. ආරම්මණයාගේ ඇති සැටි දැනගත නො හැකි පරිද්දෙන්, සැබෑ ආකාරය ආවරණය කොට, ආරම්මණ ස්වභාවය වරදවා ගැණීම කරන්නා වූ ධර්මයට මොහය යයි කියනු ලැබේ. වැහිවලාකුලින් වැසීගත් අහස ඇති, අමාවක් පොහො දිනෙක, මධ්‍යම රාත්‍රියෙහි, වන ලැහැබෙක ඇතිවන අන්ධකාරය හේතුකොට ගෙන, ඒ වන ලැහැබෙහි ඇති ගස් කොළ ආදීන්ගේ නීලපීතාදී වර්ණයන් මුවහ කරවන්නාක් මෙන්, මේ මොහාන්ධකාරයෙන්, රූප ශබ්දාදී සියළු ආරම්මණයන්ගේ සැබෑ තත්වය වසා, වැරැදි ආකාර යෙන්ම අරමුණු ගැනීම කරවන්නේය. යහපත අයහපත වශයෙන් ද, අයහපත යහපත වශයෙන් ද, අමිහිරි දෙය මිහිරි වශයෙන් ද, මිහිරි දෙය අමිහිරි වශයෙන් ද, දුක සැප වශයෙන් ද, සැප දුක වශයෙන් ද, අනිත්‍යය නිත්‍යය වශයෙන් ද, අනාත්මය ආත්මය වශයෙන් ද, අසුභය සුභ වශයෙන් ද, නොයෙක් දුකට පමුණුවන්නා වූ, අරමුණෙහි ඇලීම නම් වූ ආශාව, සැප ලබා ගැනීමේ හේතුවක් වශයෙන් ද, ඇස්, කන්, නාසාදි ඉන්ද්‍රියයන් පිණවීම භාග්‍යය ළඟා කරවන ධර්ම යන් සැටියට ද ඉන්ද්‍රිය දමනය මහත් හිරිහැරයක් හැටියට ද, ප්‍රාණ වධාදියෙහි යෙදීම විනෝදයක් හැටියට ද, එයින් වැළකීම මෝඩ කමක් හැටියට ද, සසර දුක සැප වශයෙන් ද එයින් මිදීමේ ප්‍රතිපදාව නපුරක් හැටියට ද, සත්‍යය අසත්‍යය වශයෙන් ද අසත්‍යය සත්‍යය වශයෙන් ද කෙටියෙන් කියතහොත් දුක්ඛයන්ගේ පැවැත්මට ස්ථාන වූ මේ පඤ්චස්කන්ධය නපුරක් හැටියට නොව, යහපත් වූද, මිහිරි වූද, ආලය කටයුතු වූද, අගනා වස්තුවක් සැටියට සිතනු ලබන්නේ මේ මෝහන්ධකාරය නිසාමය. තවද මේ මෝහය හේතුකොට ගෙන පූර්වභවය මුවහ කරවන්නේ ය. අනාගතය නො පෙනී යන්නේය, පූර්වාපරාන්තය නො දැනෙන්නේය. හේතුඵල ධර්මයන් නො වැටහෙන්නේය. ප්‍රඥාව මුවහ කරවන්නේය. කුසලය වළක්වන් නේය. අකුසලයෙහිම යොදවන්නේය. කුසල කර්මයාගේ ආනි ශංස නො වැටහෙන්නේය. අකුසල කර්මයාගේ ආදීනව නො දැනෙන්නේය. පාප ධර්මයන් හි හැකිලීමක්, පැකිලීමක් පසුබැස් මක් නො මැතිවම, පාපයෙහිම යොදවන්නේය. මෙලොවත් පරලොවත් මහත් වූ දුකට පමුණුවන්නේය. එබැවින් මේ මෝහය, සියළු ම අකුසල්වලට මූලික හේතුවක් හෙවත් අකුසල මූලයක් යයි කියනු ලැබේ.

මෝහය කරණකොටගෙණ නො ඇලියයුතු අරමුණෙහි ඇලීම නම් වූ ලෝභය, ආශාව, තණ්හාව, ආලය යනාදිය ඇති වූ විට ලෝභ මූල සිත් අටෙන් එකක් උපදී. මෝහයෙන් මුළාවූ පුද්ගලයාගේ, වැරදි දෘෂ්ටි හෙවත්, මිථ්‍යාදෘෂ්ටිය ගැනීමේදී, ලෝභ මූල දිට්ඨිගතසම්ප්‍ර යුක්ත සිත් සතරෙන් එකක් පහළවන්නේ ය. ලෝකය සදාකාලික යයි ගන්නා ශාස්වතදෘෂ්ටිය ද, පරලොවක් නැතැයි ගන්නා උච්ඡේද දෘෂ්ටියද, කුසලාකුසල කර්ම නැත, විපාක නැත, සියළුම සවිඤ්ඤාණක අවිඤ්ඤාණක වස්තූන් මවන දෙවියෙක් හෝ බඹෙක් ඇත. මේ ලෝකය හැර අන්‍ය සත්ත්වලෝක නැත. අපාය නැත, දෙව්ලොව නැත. බඹ ලොව නැත. අපට පෙනෙන, ඇසෙන, දැනෙන භවය මිස අන් භවයක් නැත, අපායත්, දෙව්ලොවත්, බඹලොවත් මේ මනුෂ්‍ය ලෝකයේ මය යනාදි වශයෙන් මිථ්‍යාදෘෂ්ටිය නොයෙක් ආකාර වේ. මේ සිත්වල මෝහයත් සමඟ ලෝභය සහ දිට්ඨිය ද ඇති වේ.

එමෙන්ම නො කිපිය යුතු අරමුණෙහි කිපීම නම් වූ පටිඝය, ක්‍රෝධය, තරහව, වෛරය යනාදී වශයෙන් සිත් දූෂ්‍ය වීමද මේ මොහය නිසාම ඇති වන්නේය. එහිදි මොහයත් සමග ද්වේෂමූලයත් ඇතිවන හෙයින් දොෂමූල දොමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුත්ත සිත් දෙකෙන් එකක් පහළ වන්නේය. කුසලයට මහත් බාධාවක් වූ මේ පටිඝය හේතුකොටගෙන අනන්ත අප්‍රමාණ අපාදුකට භාජනවන්නේය.

තවද මේ මොහය බලවත් වූ කල්හි අරමුණ නිශ්චය කර ගත නො හැකිවන ආකාරයක් ඇතිවීමෙන් මංමුළා වූ කෙනෙකු මෙන්ද, නොයෙක් සැක උපදවමින්, මහත් නොසන්සුන්කමක් දක්වමින් අනර්ථයම සිදුකර ගන්නේය. විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතත්, උද්ධච්ච සම්ප්‍රයුත්ත සිතත් ඇතිවන්නේ මේ බලවත් වූ මොහය හේතුකොට ගෙනමය.

සියළුම පාපධර්මයන්ට මූලික හේතුවක් වූ මේ මොහ චෛතසිකය, සැම අකුසල් සිතකම යෙදෙමින්, ඒ සිත උපදනා කල්හි ඉපිද නිරුද්ධවන කල්හි නිරුද්ධ වෙමින්, එම අරමුණම ගෙන, ඒ සිත උපදින තැනම උපදිමින් සිතටම ඇතුළත්වන අකුසල සාධාරණ චෛතසිකයක් වූ නාම ධර්මයක් බව දත යුතුය. මොහයාගේ ඖදාරික ස්වභාවයන් ඒ ඒ මාර්ගඥානයන් විසින් නසනු ලබන නමුත් සියුම් වූ අවිද්‍යාව අර්හත් මාර්ගඥානයෙන් නසන තෙක් චිත්තසන්තානයෙහි අනුශය වශයෙන් පවතින බව දත යුතුය.