අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ලෝභය (5)

ලෝභ චෛතසිකය, අරමුණෙහි ගිජුවශයෙන් ඇලීම ලක්ෂණ කොට ඇත්තේ ය. මේ ලෝභය අකුසල මූලයක් වශයෙන් ලෝභ මූල සිත් අටෙහි යෙදෙන්නේය. ඉෂ්ටාරම්මණයක් හමුවූ කල්හි, එහි ඇලීම, සසර පුරුද්දක් වශයෙන්ම පෘථග්ජන සත්ත්වයාට ඇති වන්නේය. අනිෂ්ට අරමුණක් වුවත්, චිත්ත විපල්ලාසාදීන්ගේ වශයෙන් ඉෂ්ට ලෙස ගැනීමේදී මේ ලෝභයම ඇති වන්නේය. යම් භවයක පළමුව පටිසන්ධිය ලබන අවස්ථාවේදී පටිසන්ධි භවාඞ්ග සිත් ඉපිද නිරුද්ධ වූ කල්හි, එයට අනතුරුව අළුත් භවයකට ඇලුම් කරවන මේ ලෝභමූල සිතක්ම ජවන් සිත් වශයෙන් පහළ වන්නේය. අර්හත් මාර්ගඥානයෙන් මෝහය සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ වනතුරු මේ ලෝභය හෙවත් තණ්හාව අනුශය වශයෙන් පවතින්නේය.

අකුසල මූලයක් වූ මේ ලෝභය, වඳුරු ලාටුවකට උපමා කොට තිබේ. මක්කටාලේප නම් වූ මේ වඳුරු ලාටුව, වඳුරන් ඇල්ලීම පිණිස, යම් තැනෙක ගා තැබූ කල්හි, එහි හැපෙන වඳුරා, එහිම ඇලි බේරී යන්නට නො හැකිව මහත් දුකට පැමිණෙන්නේය. එමෙන්ම ලෝභය නම් වූ මේ තණ්හාව, අරමුණෙහි තදින් ඇලීම හේතුකොට ගෙණ, කාම මිථ්‍යාචාරාදී නොයෙක් අකුසල් සිදුකර දෙන්නේය. මේ ලෝභය ඇති වන්නේ අරමුණක් ආශ්වාදනීය වශයෙන් ගන්නා කල්හිය. තණ්හාව, ආශාව, ආලය, රාගය, ප්‍රේමය, ආදරය, ගිජු බව ලොල්බව, ඕනෑකම යනාදී වශයෙන් ලෝභයාගේ නොයෙක් ආකාර ප්‍රකාශ වන්නේය. මමය, මාගේය, මාගේ මව්පියෝය, මාගේ අඹුදරුවෝය, මාගේ සහෝදර සහෝදරියෝය, මාගේ නෑදැ මිතුරෝය, මාගේ ගේදොර වතුපිටි කුඹුරුය, මාගේ වස්ත්‍රාභරණයෝය, මාගේ සම්පත යනාදී වශයෙන් මමත්වයක් හෙවත් අරමු ණෙහි ඇලෙන ස්වභාවය ද මේ ලෝභ චෛතසිකයෙන් ම සිදුවන්නේය සැප සම්පත් සෙවීම, ලත් දෙය රැකීම, කාමයන්හි හැසිරීම, දැඩිලෝභය ශාශ්වත උච්ඡේද ආදි වශයෙන් මිථ්‍යාදෘෂ්ටි ගැනීම, නියත වශයෙන්ම ලෝභමූල සිතකින් ඇති වන්නේ ය, අනියත වශයෙන් අදත්තාදානය මුසාවාදය, පිසුණාවාචය, සම්ඵප්පලාපය යන අකුසලයන් ද ලෝභය නිසා සිදුවේ. ලෝභය හෙවත් තණ්හාව, සියලුම දුක් ඉපදවීමෙහි හේතුවක් වන හෙයින් සමුදය සත්‍යය ද වන්නේ ය. සෝවාන් මාර්ග ඥානයෙන් දිට්ඨියත් සමඟ යෙදුන ලෝභය සමුච්ඡේද වශයෙන් නැසීමත්, දිට්ඨිය සමඟ නො යෙදුන ලෝභය තුනී කිරීමත් ඇති වන්නේය. අර්හත් මාර්ගඥානයෙන් ඉතිරි අකුසලයන් සමඟ සියුම්ව පැවති ලෝභය ද නසනු ලබන්නේ ය.