අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මානය (7)

තමාගේ තත්වය වරදවා මැනීම ලක්ෂණ කොට ඇති මේ මාන චෛතසිකය, ලොභයාගේ යහළුවෙක් වශයෙන් පෙනී සිටින බැවින් ලොභමූල සිතකම යෙදෙන්නේය. මොහයෙන් මුළාවූ සත්ත්වයා හට තමාගේ තත්වය වූවද, නිවැරැදි ලෙස මැන ගැනීමට නොහැකි වන්නේ යම් යම් දේ ලබාගැනීමට තිබෙන ආශාව හෙවත් ලොභය නිසාමය.

සෙය්‍යමානය සදිසමානය හීනමානය යයි මානය තෙවැදෑරුම් වේ. තමාගේ ශරීර ලක්ෂණය, ධන සම්පත්තිය, වයසින් හා ගුණ යෙන් වැඩි බවය, ජාති ගොත්‍රය, උතුම් බවය, කුසලකර්ම ඇති බවය යනාදිය සළකා, මම උතුමැයි ධ්වජයක් කොට, කොතක් කොට, උසස් කොට, ගන්නා ස්වභාවය සෙය්‍ය මාන නම් වේ. මෙයද

ජාති මානය, ගුණ මානය, පුණ්‍ය මානය කියා තුන්වැදෑරුම් වේ. මම උසස් ජාති ගොත්‍රයකින් පැවැත එන කෙනෙක්මියි සිතීම ජාති මානය වේ. මම ශීලසමාධි ගුණයන්ගෙන් යුක්ත යයි සිතා මානය කිරීම ගුණ මානයයි. මම කුසලකර්ම හේතුවෙන් ධන සම්පත්ති ලැබීමියි කියා මානය කිරීම පුණ්‍ය මානය වේ. උත්තම යයි සම්මත පුද්ගලයන් විසින් හීනයයි සම්මත පුද්ගලයන්ට මානය කිරීම ප්‍රණීත මානය හෙවත් සෙය්‍ය මානය නම් වේ. උඩඟු බවය, ආඩම්බරය, අහංකාරය යනාදී වශයෙන් දක්වන්නේත් මේ සෙය්‍ය මානයයි.

මම ද ඔහු ද කුල, සීලාදියෙන් සමාන යයි සිතා මානය කිරීම සදිස මානය වේ. අන්‍යයන්ටත් ඇත්තේ මට ඇති අවයවමය. අන්‍යයන් මෙන්ම මට ද සමානව සැප විඳීමට බලයක් ඇත. උසස්ය, පහත්ය, පොහොසත්ය, දුප්පත්ය යනාදි වශයෙන් වෙනස් කොට සැලකීම යුක්ති සහගත නොවේ. අප හැම දෙනාම සෑම කරුණ කින්ම සමානය යනාදී වශයෙන් ගැනීම සදිසමානයාගේ ලක්ෂණ යෝයි.

නීචයයි සම්මත අය විසින් උසස් අයට දක්වන මානය හීන මානය වේ. මෙය දක්වනු ලබන්නේ තම තත්වය පහත් කොට පෙන්වීමෙනි. අන්‍යයන්ට මෙන් මට ධනය නැත, උගත්කම් නැත, නැදෑමිතුරන් නැත. භාග්‍යය නැත. හීන වූ අපි උගත්කම් ලබාගන්නේ කෙසේද? දන් දෙන්නේ කෙසේද, සතුටු වන්නේ කෙසේද, උසස් වන්නේ කෙසේ ද යනා දී වශයෙන් තමාම ඉතා පහත් කොට සැලකීම මේ හීනමානයාගේ ලක්ෂණයෝයි. හීනමානය ඇති පුද්ගල තෙමේ දෙලොවින්ම පිරිහෙන්නේය.

මේ මානය, දිට්ඨිය හා සමානවම බලවත් හෙයින් එක සිතක මේ චෛතසික දෙක නො යෙදෙන්නේය. දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරෙහි දිට්ඨිය නියත වශයෙන්ම යෙදෙන්නේය. මානය, දිට්ඨිගත විප්‍රයුක්ත සිත් සතරෙහි අනියත වශයෙන් යෙදෙන බව සැලකිය යුතුය.