අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ථිනය (12) සහ මිද්ධය (13)

සිතෙහි ගිලන් බව, දුබල බව, අප්‍රාණිකබව, මලානික බව හැකිලෙන ගතිය, හෙවත් උත්සාහවත් නොවන ස්වභාවයට ථින යයි කියනු ලැබේ. චෛතසිකයන්ගේ ගිලන් බව, අලස බව, මැලි බව මිද්ධය නම්. මේ ථිනයත් මිද්ධයත් වෙන් කළ නොහැකි ධර්ම දෙකෙකි. සිතෙහි හැකිලීමක් ඇතිවන විට චෛතසිකයන්ගේද හැකිලීම ඇති වන්නේය. මේ ථීන මිද්ධ දෙක එකතු වී නීවරණයක් වශයෙන් සමාධිය වළක්වා ලන්නේය. මේ ථීන මිද්ධ දෙදෙනාද කෘත්‍ය, ආකාර විපක්ෂ ධර්මයන්ගේ වශයෙන් සමාන බැවින් එක් කොට ගනු ලබන්නේය. කුරුළු පිහාටුවක් ගින්නට ලංකළ කල්හි හැකිළෙන්නාක් මෙන්, ථීනය, සිතෙහි හැකිලීම හෙවත් පසුබැසීම ඇතිකරන්නේය. මිද්ධය ද චෛතසිකයන්ගේ හැකිලීම ද ඇති කරන්නේය. මෙසේ මේ දෙදෙනා කෘත්‍ය වශයෙන් සමානය.

ථීනය හේතුකොටගෙන සිත හැකිලෙන කල්හි ශරීරයෙහි හැකිලීම, අලස බව, බර බව ඈනුම් ඇරීම්, ඇතිවන්නේය. මිද්ධය කරණකොටගෙන සම්ප්‍රයුක්ත ධර්මයන් හැකිලෙන කල්හි ඒ සිතින් උපදවන චිත්තජරූපයන් පැතිර යාමෙන් ශරීරයාගේ හැකිලීම, අලස බව, බර බව, ඇතිවන්නේය. මෙසේ ආකාර වශයෙන් ද මේ දෙදෙනා සමානය.

ථීනය වීර්‍ය්‍යයාගේ සතුරු ධර්මයෙකි. මිද්ධය ද එසේම වීර්‍ය්‍යයට විපක්ෂය. මෙසේ විපක්ෂ ධර්මයන්ගේ වශයෙන් ද දෙදෙනා සමානය.

මේ ථීන මිද්ධ දෙදෙනා සසංඛාරික අකුසල් සිත් පසෙහිම අනියත වශයෙන් යෙදේ. මේ ථීන මිද්ධ චෛතසිකයෝ නැවත නැවත උපදනා කල්හි, ඒ සිතින් උපදවනු ලබන චිත්තජරූපයන්, ශරීරයේ සැමතැනම පැතිරී යාමෙන්, නාමකාය සම්බන්ධ වූ වීර්‍ය්‍ය උපදවනු ලබන චෛතසිකය ද දුර්වල වී, රූප කය බරබවට, මත්බවට පත් වීමෙන් නිද්‍රාව හටගන්නේය. රූපමිද්ධයයි කියනු ලබන්නේ මේ නිද්‍රාවටය. චෛතසිකයන්ගේ මැළිබව වූ මිද්ධය නාමමිද්ධ යයි දත යුතුයි. නාම මිද්ධය අකුසලයකි. රූපමිද්ධය නම් වූ නිද්‍රාව හැමවිටෙකම නාම මිද්ධය නිසාම ඇති නොවන්නේය. ගමනාදි ඉරියව් පැවැත්වීමෙන් ද, ගිලන් වීමෙන්ද ඇතිවන ශරීර විඩාව සංසිඳවීමට ශරීරයට විවේකය උවමනා වේ. මේ විවේකය නොලැබුනහොත් ශරීරය නීරොගීව පවත්වා ගැනීම දුෂ්කර වේ. එබැවින් එවැනි අවස්ථාවන්හි ඇතිවන නිද්‍රාව සිතෙහි හෝ චෛතසිකයන්ගේ මැළිකම නිසාම ඇති නොවන්නේය. රහතන් වහන්සේලාට ද ශාරීරික විවේකය හෙවත් නිද්‍රාව උවමනාය. උන්වහන්සේලා සිහිනුවනින් යුක්තවම නින්දට යති. වැඩෙක නොයෙදී හිස්ව සිටින අවස්ථාවන්හිදී එක් ඉරියව්වකින් කල්යවන පුද්ගලයාහට ඇතිවන නිදිමත හා පිබිදිකල්හි ඇතිවන අලස භාවයද, ථීනමිද්ධ යයි දත යුතුයි පමණ නොදැන වැඩි ආහාර ගැනීම, අපථ්‍ය ආහාර ගැනීම, හා ස්වල්පවූ ආහාර ගන්නා කල්හිදී ථීනමිද්ධය ඇතිවියහැකිය. නොකැමැත් තෙන් යමක් අසමින් බලමින් සිටිනවිටද ඕනෑකමින් යමක් නො කරන විටද, නිදිමතවන්නේ මේ ථීනමිද්ධය නිසාමය. කුසල් සිත්හි කාය චිත්ත ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, පාගුඤ්ඤතා ආදි ප්‍රතිපක්ෂ ධර්මයන් ඇතිවන හෙයින් ථීනමිද්ධය ඉපදීමට අවකාශ නැත. විතර්ක චෛතසිකය බලවත් වූ කල්හි, ථීන මිද්ධනීවරණය යටපත් කොට, සමාධිය ලැබීමට උපකාර වන්නේය.