විචිකිච්ඡාව (14)
රූපාදි අරමුණු නිශ්චය කොට නොගත හැකිබව හෙවත් අරමුණු පිළිබඳව ඇතිවන සැකය අවිශ්වාසය විචිකිච්ඡා නම් වේ. කුසලයත් ඤාණයත් සමාධියත් ආවරණය කරන හෙයින් විචිකිච්ඡාව නීවරණ ධර්මයකි. මොහමූල විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතෙහි පමණක් යෙදෙන මේ චෛතසිකය මිථ්‍යාදෘෂ්ටිය හා සමාන වූ බලවත් අකුසලයකි. විචිකිච්ඡා බහුල පුද්ගල තෙමේ අකුසල් නොවන්නාවූ ක්‍රියාවෙහි අකුසල්යයි සිතා භයවෙයි. කුසල් නොවන්නා වූ ක්‍රියාවෙහි කුසල් යයි. වරදවා පිළිපදිති. එබැවින් මෙය මහා සාවද්‍ය අකුසල සංඛ්‍යාවට ගැනෙන්නේය. විචිකිච්ඡාව සමුච්ඡෙද වශයෙන් ප්‍රහීන නො කොට ආර්‍ය්‍ය මාර්ගයට පැමිණිය නො හැකි වේ. දෙමං සන්ධියකට පළමුවර පැමිණි පුද්ගලයෙක් යා යුතු මාර්ගය කුමක් දැයි නිශ්චය කොට ගත නො හැකිව වෙහෙසට පැමිණෙන්නාක් මෙන් මේ විචිකිච්ඡාවද අරමුණු නිශ්චය කොට ගත නොහැකිව. චිත්ත සන්තානනය වෙහෙසන්නේ ය. නීවරණ නොවූ විචිකිච්ඡාවක්ද ඇත්තේය නොදන්නා යම් කරුණක් ගැන නිශ්චය කොට ගත නො හැකිව ඇතිවන්නාවූ සැකයයි. එය සිත්රාශියකින් සිදු වන්නක් බැවින් අකුසලයක් නොවන්නටද පිළිවන. අකුසලය වන්නේ නීවරණ විචිකිච්ඡාව බව දතයුතුයි. බුද්ධාදි අට තැන සැකයට ද විචිකිච්ඡා යයි කියනු ලැබේ. මොහ මූල විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතෙහි විස්තර දැක්වූ පරිදි මෙය දත යුතුයි. නුවණින් යුක්තව කල්පනා කිරීම
අරමුණ මනාකොට පරික්ෂාකිරීම නම් වූ විචාර චෛතසිකය දියුණු වූ කල්හි සැකය ද දුරුවන්නේය. මෝහය බලවත් වූ සිතකම මේ විචිකිච්ඡාව යෙදෙන බව දතයුතුයි.