අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ප්‍රකීර්ණක චෛතසිකයෝ සදෙන

විතක්ක, විචාර, අධිමොක්ඛ, විරිය, පීති, ඡන්ද යයි ප්‍රකීර්ණක චෛතසිකයෝ සදෙනකි. සබ්බචිත්තසාධාරණ චෛතසිකයන් මෙන් නියම වශයෙන් හැම සිතකම නො යෙදුණේ වී නමුත් සොභන අසොහන සිත් දෙකොටසෙහිම සමහර විටෙක යෙදෙමින්, සමහර විටෙක නොයෙදෙමින්, විසිර පවත්නා බැවින් මේ චෛතසික සදෙනාට ප්‍රකීර්ණකයෝ යයි කියනු ලැබේ. මේ ප්‍රකීර්ණක චෛතසිකයෝ ද කුසල් සිත් සමඟ යෙදෙන විට එකාන්ත කුසල් වශයෙන් ද, අකුසල් සිත සමඟ යෙදෙන විට එකාන්ත අකුසල් වශයෙන් ද, විපාක ක්‍රියා සිත් සමඟ යෙදෙන විට අව්‍යාකෘත යයි ද සලකනු ලැබේ.

විතක්කය

සිතත්, සම්ප්‍රයුක්ත ධර්මයනුත් අරමුණ කරා පමුණුවන, අරමුණට නංවන ස්වභාවය විතක්ක නමි. කල්පනා කිරීම යයි කියන්නෝත් මේ විතර්කයටය. මේ විතර්කය, නැවත නැවතත්, අලුත් අලුත් අරමුණුවලට සිත නංවමින් උත්සාහ වත් කරයි. විතර්කයෙන් අරමුණ කරා නංවන ලද සිත ඒ අරමුණ ගැනීම කරන්නේය. සිත අරමුණ ගන්නා කල්හි සම්ප්‍රයුක්ත ධර්මයන් ද එම අරමුණම ගනිති චක්ඛු විඤ්ඤාණාදි ද්විපඤ්ච විඤ්ඤාණයන්ට මේ විතර්කය උවමනා නැත. රූපාදී අරමුණු චක්ෂුරාදි වස්තුන්හි ගැටීම නිසා ඒ ඒ ස්ථානයන්හි ම විතර්කයාගේ මෙහෙයීමක් නැතිව සිත් උපදී. මහග්ගත චිත්තයන් අතුරෙන් ප්‍රථම ධ්‍යාන සිතෙහි විතර්කය යෙදෙන නමුත් ඉතිරි ධ්‍යානයන්හි, චිත්තසන්තතිය අරමුණෙහි බෙහෙවින් හුරු කරන ලද බැවින්, විතර්කය නැතිවම සමාධිය ඇති වේ. තමන්ට පමණක් ඉසිලිය නො හැකි බරක් කරපිට නැංවීමට උපකාර වන අන් පුරුෂයෙකු මෙන් විතර්කය ද අරමුණෙහි නැංවීමට උපකාර වන්නේ ය. ඖදාරික ඝණ්ටාර ශබ්දයක් වැනි වූ මේ විතක්ක විප්ඵාර ශබ්දය, අභිඥාලාභීන්ගේ දිව්‍යශ්‍රෝත්‍රඥානයට හමුවීමෙන්, මෝහට මෙබඳු සිතක් උපන්නේ යයි දැනගනී. තවද උකුස්සකු අහසට නගින කල්හි පියාපත් වේගයෙන් පැහැර අහසට නගින්නාක් මෙන් ද මේ විතර්කයේ ඖදාරිකත්වය දතයුතුයි. මේ විතර්කයම, තර්කය යයි ද, සංකල්පය යයි ද, අප්පණා යයි ද, ව්‍යප්පණා යයි ද, ඌහා යයි ද ඒ ඒ අවස්ථාවන්ට අනුව නොයෙක් නම්වලින් හඳුන්වනු ලැබේ. ධ්‍යානා ඞ්ග අතුරෙන් පළමුවැනි ධ්‍යානාඞ්ගය විතර්ක යයි. ධ්‍යාන චිත්ත වීථියෙහි පරිකර්ම, උපචාර, අනුලොම, ගොත්‍රභූ යන කාමාවචර කුසල් සිත්හි යෙදෙන විට විතර්කය යයි ද, ධ්‍යාන සිතෙහි යෙදෙන විට අප්පණා, ව්‍යප්පණා යයි ද කියනු ලැබේ. මාර්ගඵල චිත්තයන්හි යෙදෙන විතර්කයට සම්මා සඞ්කප්ප යයි කියනු ලැබේ. තව ද විතර්කයෙන්, ථිනමිද්ධ නීවරණය යටපත් කරනු ලැබේ.

විචාරය

විතර්ක චෛතසිකය විසින් අරමුණට නංවන ලද්දා වූ සිතත් සම්ප්‍ර යුක්ත ධර්මයනුත් ඒ ඒ ක්‍රියාවන්හි හැසිරවීම ලක්ෂණ කොට ඇති මේ විචාරය අරමුණෙහි ස්වභාවය සිතට පැහැදිලි කර දෙන්නේ ය. යම් වස්තුවක් පැහැදිලි ලෙස දැන ගැනීමට පෙර එය හොඳ හැටි පිරිමැද, අතගා බැලිය යුතු වාක් මෙන් විචාරය ද අරමුණෙහි හැසිර වීම් වශයෙන් උපකාර වෙයි. මේ විතක්ක විචාර දෙදෙනා නිතර එකට ම උපදී. එයින් විචාරය සියුම් ස්වභාවය ඇත්තේ වෙයි. ඝණ්ටාර ශබ්දයට පසුව ඇතිවන රාවය මෙන් ද, අහසට නැගී උකුසා පියාපත් නො පැහැර නිශ්චලව අහසෙහි යන්නාක් මෙන් ද, සන්හුන් පැවතුම් ඇත්තේ ය. යම් කිසි පුරුෂයෙක් ලොහොතලියක් එක් අතකින් තදින් අල්වාගෙන අනිත් අතින් සෙමින් සෙමින් මදින් නාක් මෙන්, විතර්කය විසින් තදින් නංවා අල්වා ගත් අරමුණ විචාරය විසින් පිරිමැද බලන්නේ ය. තව ද මේ විචාරය ධ්‍යානාඞ්ගයක් වශයෙන් පළමුවැනි දෙවැනි ධ්‍යාන සිත්හි යෙදෙමින් විචිකිච්ඡා නීවරණය මැඩලීමට උපකාරවන්නේ ය. ද්විපඤ්ච විඤ්ඤාණ සිත්හි ද විචාරය නො යෙදෙයි.

අධිමොක්ඛය

අරමුණ නිශ්චය කරන ස්වභාවයට අධිමොක්ඛ යයි කියනු ලැබේ. අරමුණෙහි සැක හැර ස්ථිරව පිහිටීමට මේ අධිමොක්ඛ චෛත සිකය උපකාර වෙයි. සත්‍යය, අසත්‍යය, යහපත, අයහපත යනාදී වශයෙන් වෙන් නො කොට, අරමුණ කුමක් හෝ වේවා, තදින් අල්වා ගෙන, සිතෙහි පිහිටුවා ගැනීමට උපකාරවන මේ අධිමොක්ඛය, බොහෝ සෙයින් වැරදි ලෙස ද, අසත්‍යය සත්‍ය වශයෙන් ද අද හන්නේ වේ. මිථ්‍යාධි මොක්ඛ යයි කියනුයේ එයට ය. අරමුණක් යහපත් ය කියා හෝ අයහපත්ය කියා හෝ නිශ්චය කර ගැනීමට චිත්ත වීථි රාශියක් ඇති විය යුතුයි. සිතින් ගනු ලබන අරමුණ, අන් අරමුණුවලින් වෙන් කොට, නිශ්චය කිරීමක් වැනි ක්‍රියාවක් ඇත්තා වූ මේ අධිමොක්ඛ චෛතසිකය විචිකිච්ඡාව නම් වූ සැකයට විරුද්ධ වූ නාම ධර්මයක් බැවින් මෝහමූල විචිකිච්ඡා සම්ප්‍රයුක්ත අකුසල් සිතෙහි නො යෙදෙන්නේ ය. මේ අධිමොක්ඛය අකුසල් සිත්හි යෙදෙන කල්හි අකුසල් වශයෙන් ද, කුසල් සිත්හි යෙදෙන කල්හි කුසල් වශයෙන් ද, විපාක ක්‍රියා සිත්හි යෙදෙන කල්හි අව්‍යාකෘත වශයෙන් ද සලකනු ලැබේ.

වීරිය

සසම්ප්‍රයුක්ත වූ චිත්තයට අරමුණෙහි ස්ථිරව පිහිටා සිටීමට රුකුල් දීම ලක්ෂණ කොට ඇති මේ වීර්‍ය්‍ය චෛතසිකයද සොභන අසොභන සිත් දෙකොටසෙහි වීසිර පවත්නා හෙයින් ප්‍රකීර්ණ චෛතසිකයකි. චිත්ත චෛතසික ධර්මයන්ගේ පසුබට නො වීම පිණිස මේ වීර්‍ය්‍යචෛතසිකය රුකුල් දෙන්නේ ය. ශරීරය ක්‍රියා කිරීමට, මැනවින් ආහාර පානාදියෙන් අනුබල ලැබිය යුතු වේ. ආහාර නොලැබූ කය දුර්වල වී ඇදවැටෙන්නේ ය. එමෙන් ම සිතත්, සම්ප්‍රයුක්ත ධර්මයනුත් දුර්වල වී, ඇදවැටෙන්නට නොදී අරමුණෙහි ස්ථිරව පිහිටා, තම තමන් අයත් කෘත්‍යයන් නිසිසේ කිරීමට උපකාර දීමත්, අනුබල දීමක් වශයෙන් මේ විරිය චෛතසිකය පහළ වන බව දත යුතුයි. පාප ගතියට ම නැමී පවත්නා පෘථග්ජන චිත්ත සන්තානයක මේ වීර්‍ය්‍ය චෛතසිකය යෙදුන කල්හි පහතට ගලා බස්නා ජලයක පිහිටි ඔරුවක් මෙන්, පහසුවෙන් අකුසල පක්ෂයෙහිම ගමන් කරයි. කුසලය වනාහී අකුසලයන් මැඩ පවත්වා උත්සාහ යෙන් සිත සකස් කොට කළ යුත්තකි. වීර්‍ය්‍ය නො යෙදුන කල්හි කුසල් කිරීමට නො හැකි වේ. කෙලෙස් සහිත පුද්ගලයාට දන්දීම් සිල් රැකීම් ආදිය මහත් බරක් සේ වැටහේ. බරක් රැගෙන කඳු නගින තැනැත්තාට වීර්‍ය්‍ය නො ලැබුනොත් කඳු නැග ගන්නට නො හැකි වන්නා සේ කුසල් කිරීමට වීර්‍ය්‍යය ඇති විය යුතුයි. කුසල් සිතට වීර්‍ය්‍ය ලැබුණ කල්හි එහි සම්ප්‍රයුක්ත ධර්මයන් ද දුබල නොවී, උත්සාහවත් වී, නො පසු බටව ක්‍රියා කරන්නට රුකුලක් වන්නේ ය. වීර්‍ය්‍ය බලවත් වූ පමණට කුසල් සිත ද බලවත් වේ. බලවත් වූ වීර්‍ය්‍යය, පාරමිතාවක් වශයෙන් ද පුරුදු කොට, සම්බොධි යට ද පැමිණිය හැකි වේ. බොධි පාක්ෂික ධර්මයක් සැටියට මේ වීර්‍ය්‍යය, නව ආකාරයකින් පහළ වන්නේ ය. එනම් සතර සම්‍යක් ප්‍රධානයෝය, විරියිද්ධිපාදය, විරියින්ද්‍රිය, විරියබලය, විරිය සම්බොජ් ඣඞ්ගය, සම්මාවායාමය යනුයි. මනොද්වාරාවජ්ජනය සහ හසිතුප්පාදය යන සිත් දෙක හැර අනිකුත් අහේතුක සිත් සොළොසෙහි මේ වීර්‍ය්‍ය චෛතසිකය නො යෙදෙන්නේ ය. ඒ සිත් දහසය, ප්‍රසාද වස්තූන්හි අරමුණු ගැටුනු කල්හි උත්සාහයක් නැතිවම හටගන්නා හෙයිනි. ඉතිරි සිත් සියල්ලෙහි ම මේ වීර්‍ය්‍ය චෛතසිකය යෙදෙන බව දත යුතුය.

ප්‍රීතිය

පීති චෛතසිකය අරමුණෙහි සිතත්, සම්ප්‍රයුක්ත ධර්මයනුත් පීණවීම ලක්ෂණ කොට ඇත්තේ ය. දුකින් පෙළනු ලැබූ පුද්ගල සාගේ හැකුළුනු ශරීරය, ඉෂ්ට අරමුණු ලත් කල්හි ඇතිවන සොම්නස නිසා වියලි ස්වභාවය දුරුවී පිරුණු, සැහැල්ලු ගතියක් ඇති කරන්නාක් මෙන්, මේ ප්‍රීති චෛතසිකය ද සිත පුබුදු කරවයි. ප්‍රීතිය නිසා උපදවා ගත් වායෝධාතුහුගේ උපකාරයෙන්, ශරීරය ද නොයෙක් ආකාරයෙන් සැලෙන්නට, වැනෙන්නට ද සැරසෙයි. සිනහවත් නැටීමත් ඇති වන්නේ මේ හේතුවෙන්ය. සොමනස්සය යෙදෙන සෑම සොභන අසොභන සිතකම ප්‍රීතිය ද පහළ වන්නේ ය. සොමනස්සය ඉෂ්ට අරමුණු රසය විඳීමකි. මේ විඳීම නිසා සිතෙහි ඇතිවන ප්‍රබෝධය ප්‍රීතිය නම්.

මේ ප්‍රීති තොමෝ, ඛුද්දක ප්‍රීතිය, ඛණික ප්‍රීතිය, ඔක්කන්තික ප්‍රීතිය, උබ්බෙග ප්‍රීතිය, ඵරණ ප්‍රීතිය කියා පස් ආකාර වේ. ශරීරයෙහි ලොමු ඩැහැගැනීම් මාත්‍රයක් උපදවන්නා වූ ප්‍රීතිය ඛුද්දක ප්‍රීති නම්. විදුලි ගසන්නාක් මෙන් ක්ෂණක්ෂණයෙන් ශරීරයෙහි ලොමු දැහැ ගැනීම් උපදවන්නා වූ ප්‍රීතිය ඛණික ප්‍රීති නම්. මුහුදේ රළ, වෙරළෙහි බිඳි බිඳී යන්නාක් මෙන් සකල ශරීරයෙහි පැතිර යන්නා වූ ප්‍රීතිය ඔක්කන්තික ප්‍රීතිය නම්. ශරීරය උඩට විසිකරන්නාක් මෙන් ඇතිවන බලවත් ප්‍රීතිය උබ්බෙග ප්‍රීතිය නම්. සකල ශරීරයම ස්පර්ශ කරමින්, පැතිර පවත්නා අති ප්‍රණීත ප්‍රීතිය ඵරණ ප්‍රීති නම්.

තවද මේ ප්‍රීති චෛතසිකය, ධ්‍යානාඞ්ගයක් වශයෙන් පළමුවැනි දෙවැනි තුන්වැනි ධ්‍යාන සිත්හි යෙදෙන්නේ ය.

ඡන්දය

අරමුණ ගැනීමෙහි කැමැති බව ඡන්ද යයි. මේ ඡන්දය, අරමුණ ගනු කැමැත්ත මිස එහි ඇලීම කරවන ශක්තියක් නොවේ. අරමුණෙහි ඇලෙන ශක්තියට ලොභ යයි ද, තෘෂ්ණාව යයි ද, ආශාව යයි ද කියනු ලැබේ. යහපත, අයහපත වශයෙන් නො සළකා අරමුණ ගැනීම පමණක් මේ ඡන්දයෙන් සිදුවේ. මෝහය අධික කල්හි, සිතෙහි නොසන්සුන් භාවය හෝ, අරමුණෙහි සැක සහිත භාවය හෝ ඇතිවන නිසා, අරමුණ ගැනීමෙහි කැමැත්තක් ඇති නොවේ. එබැවින් මෝහමූල සිත් දෙකෙහි ඡන්ද චෛතසිකය නොයෙදෙන් නේය. තව ද දුර්වල වූ අහේතුක සිත් අටළොසෙහි ද මේ ඡන්දය නො යෙදේ. මේ හැර සෝභන සිත් සියල්ලෙහි ම ඡන්දය යෙදෙන් නේය. ප්‍රකීර්ණික චෛතසිකයක් වූ මේ ඡන්දය, අකුසල් සිත් සමඟ යෙදුන විට අකුසල් වශයෙන් ද, කුසල් සිත් සමඟ යෙදුන විට කුසල් වශයෙන් ද, සලකනු ලැබේ.

ලෝභමූල අකුසල් සිත්හි යෙදෙන ඡන්දය, ලෝභයට අනුබල දෙන්නේ වේ. කුසල් සිත්හි යෙදෙන ඡන්දය, ලෝභය මැඩලීමට උපකාර වේ. මේ ඡන්දය දියුණු කිරීමෙන් ඡන්දාධි පති භාවයට හා ඡන්දිද්ධිපාද භාවයට පැමිණ තෘෂ්ණාව මැඩ පවත්වා උසස් කුසල් කිරීමට ද, ධ්‍යාන උපදවා ගැනීමට ද, නිවණට පැමිණීමට ද උපකාර වන්නේමය.