අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කුක්කුච්චය (11)

කළපව් හා නොකළ පින් පිළිබඳව පසුව සිත්හි ඇති වන්නා වූ තැවෙන ස්වභාවයට හෙවත් පසුතැවිල්ලට කුක්කුච්චය යයි කියනු ලැබේ. මේ කුක්කුච්චය අතීතයෙහි කළ නො කළ පව් පින්ම අරමුණු කරන්නේය. දහම් නො අසා, සත්පුරුෂයන් සේවනය නො කර, පව් පින් නො දැන, යෞවන මදයෙන් මත්ව, නොයෙක් අකුසල් කළ තැනැත්තා, පසු කාලයක, වයස්ගතව, ධර්මය ගැන දැනීමක් ඇතිව, අකුසල විපාකාදිය පිළිබඳ විස්තර අසා, අහෝ තරුණ මදයෙන් මත් වූ මා විසින් මේ මේ අකුසලයන් කරන ලද්දේ ය. මට වූයේ මහත් වරදෙකි, එකාන්තයෙන්ම අපා දුක් විඳීමට සිදුවන්නේයයි සිතමින් චිත්ත සන්තානය නැවත නැවතත් කිලිටි කර ගන්නේය. එමෙන්ම, කුසල් කිරීමට හැම අවස්ථාවක්ම තරුණ වියෙහි දී ඇතිවූ නමුත්, පාප මිත්‍රයන් ඇසුරු කරමින් පින් නො කළ බැවින්, දැන් අත් පා දුර්වල වී, ජරාවෙන් පීඩිත වී, දුබලව සිටින මා කෙසේ පින්කම් කරන්නෙම් ද, අහෝ මට වූයේ මහත් අලාභයකි යනාදී වශයෙන් සිතමින් තැවෙන්නේය.

අතීතයෙහි කළ පව් ගැන සිතීම හෙවත් කළ පව් නැවත නැවත සිහි කිරීම කුක්කුච්චය නො වන බව සැලකිය යුතු යි. කළ පව් ගැන සිතමින්, තැවීම, කරණගාටුවීම, පශ්චාත්තාපය, පව් තුනී කරන යහපත් ගුණයක් හැටියට බොහෝ දෙනා සලකති. නමුත් කළ පව් ගැන සිතාපසුතැවිලි වීම, පව් තුනී කිරීම වෙනුවට නැවත නැවතත් සිත් දූෂ්‍ය කරවන බැවින්, කලින් ඇති වූ සුළු පාපය බර පතල කිරීමට උපකාර වන්නේය. අපායට යවන්නට තරම් ශක්තියක් නැතිව තිබූ අකුසලය, මේ කුක්කුච්චය නිසා අපායට යැවිය හැකි අකුසලයක් වන්නේය. එසේම නො කළ පින් ගැන පසුව තැවීමෙන් පින් සිදුවන්නේ නැත. එයින් වන්නේ පින් කිරීමට උත්සාහවත් වූ සිත නැවත දුර්වල කොට සිත දූෂ්‍ය කිරීමකි.

ඇතැම්විට කලින් දන්දීම් සිල්රැකීම් ආදිය කොට පසු කලෙකදී මිථ්‍යා දෘෂ්ටි ගෙන, අහෝ මා විසින් කුසල්යයි සිතා මේ මේ දේ කෙළෙමි. ඒ සියල්ලම දැන් නිස්ඵල ය. ඒ කාලයත් ධනයත් මාගේ මෙලෝ දියුණුවට යෙදුවානම් අද මම කොපමණ උසස් කෙනෙක් ද, මා විසින් කර තිබෙන්නේ මහත් වරදෙකි යනාදී වශ යෙන්ද පසුතැවිල්ල ඇතිවන්නේය. මේ කුක්කුච්චය දොෂමූල පටිඝ සිත් දෙක්හි පමණක් අනියත වශයෙන් යෙදෙන්නේය.

තවද මේ කුක්කුච්චය බලවත් වූ කල්හි, තමාගේ කල්පනාවෙන්ම කුසල් කිරීමට නො හැකි වන්නේය. නිතර සිත දූෂ්‍යව පවතින බැවින් තම උත්සාහයෙන් පමණක් එයින් මිදී සුචරිතයෙහි හැසිරීමට ශක්තිය නො ලැබෙන්නේය. බුදු පසේ බුදු මහරහතන් ආදී කල්‍යාණ මිත්‍රයන් හමු වූ කල්හි, උන්වහන්සේලාගේ අනුග්‍රහය ලැබීමෙන් පමණක් සුචරිතයෙහි හැසිරීමට හැකි වන්නේය.

මේ කුක්කුච්චය, උද්ධච්චය සමග යෙදී උද්ධච්ච කුක්කුච්ච නීවරණය වශයෙන් කුසල් සිත වළක්වන්නේය. මේ දෙදෙනා, කෘත්‍ය, ආකාර සහ ප්‍රතිපක්ෂ ධර්මයන්ගේ වශයෙන් සමානය. උද්ධච්චය නොසන්සුන් ආකාර ඇති හෙයින් නොයෙක් අරමුණුවල සිත හසුරුවන්නේය. කුක්කුච්චය ද පසුතැවිල්ල නිසා එක් අරමුණක සිත පවත්වාගත නොහැකිව මහත් නොසන්සුන් භාවයක්ම දක්වන්නේය. එබැවින් මේ දෙදෙනා කෘත්‍යවශයෙන් සමානය.

උද්ධච්චයා නොසන්සුන් ස්වභාවය ඇති හෙයින් ඉතා ලුහුඬු කල්පනා ඇත්තේ වේ. කුක්කුච්චය ද එසේම නොසන්සුන් ගති ඇති බැවින් ලුහුඬු කල්පනාව ඇත්තේ වේ. මෙසේ මේ දෙදෙනා ආකාර වශයෙන් ද සමානය.

උද්ධච්චය එකග්ගතාවට ප්‍රතිපක්ෂ වෙයි. කුක්කුච්ච චෛතසිකය ද එසේ ම එකග්ගතාවට ප්‍රතිපක්ෂය. මෙසේ මේ දෙදෙනා ප්‍රති පක්ෂ ධර්ම වශයෙන් ද සමානය.