අභිධර්මාර්ථ ප්‍රදීපිකා

උද්ධච්චය (4)

සිතෙහි නොසන්සුන් බව හෙවත් සිත අරමුණෙහි චංචල කර වන ස්වභාවය උද්ධච්චය නමි. අරමුණු ස්වභාවය හැඳින ගැනීමට, සිතත් සම්ප්‍රයුක්ත ධර්මයනුත් නිශ්චලව පැවතිය යුතුය. චංචල වූ සිතකට හොඳ නරක තේරුම් ගැනීමට නො හැකි වේ. මෝහ යෙන් මුළා කරවන ලද විලි බිය නැති සිත, අරමුණු වරදවා ගන්නා කල්හි, නිශ්චලතාවය නැති කොට, චංචල ස්වභාවයක් ම ඇති කර වන මේ උද්ධච්ච චෛතසිකය, පුරුද්දක් වශයෙන් ම සිත නොමඟ යවන්නේය. අකුසල් කරනු ලබන්නේ මේ උද්ධච්චයාගේ උප කාරයෙනි. වාත වේගයෙන් ගස්, අතු කොළ ආදිය සොලවන්නාක් මෙන්, මේ උද්ධච්ච වේගයෙන් සම්ප්‍රයුක්ත ධර්මයන් සෙළවමින් ඔවුන්ගේ කෘත්‍යයන් නිසිසේ කිරීමට බාධා පමුණු වන්නේය. ක්ලේශයන් විසින් චිත්තසන්තානය දවන තවන කල්හි, සිතෙහි, සම්ප්‍රයුක්ත ධර්මයන්හිත් නොසන්සුන් භාවය වඩාත් ප්‍රකට වන්නේය. මෝහය බලවත් වූ පමණට උද්ධච්චය ද බලවත් වන්නේ ය. මෝහ මූල උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත පහළ වන්නේ මේ උද්ධච්චය බලවත්වූ කල්හිමය. උද්ධච්චය, දොළොස් අකුසල් සිත්හිම යෙදෙන බැවින් අකුසල සාධාරණ චෛතසිකයකි. උද්ධච්ච සම්ප්‍රයුක්ත සිතෙහි ලෝභදෝෂාදි වඩා අනර්ථකරවන පාප ගති නැති හෙයින්, කර්ම පථ බවට නො පැමිණෙන්නේය. මේ අකුසල් සිත අර්හත් මාර්ග ඥානයෙන්ම නැසිය යුතුවේ. අනාගාමි වූව ද උද්ධච්ච නම් වූ උද්ධම්භාගීය සංයෝජනය ප්‍රහීණ නො කළ බැවින් රූපාරූප භව යන්හි උත්පත්තිය ගෙණ දෙන්නේය. පසුතැවිල්ල ඇති කරවන කුක්කුච්ච චෛතසිකය හා සමඟ යෙදුන විට, කුසලයත්, සමාධියත්, වළක්වන උද්ධච්ච කුක්කුච්ච නීවරණය වශයෙන් පවතින බව ද සැළකියයුතු.