තව ද: අප බුදුන් ජීවකයන්ගෙන් ලද ජීවකාරාම පූජා නම් කවරහ යත්? එහි පිළිවෙළ කථාව සාවධාන ව ඇසිය යුතු.
එ නුවර මහාමන්‍ධාතාදි සක්විති රජුන්ගෙන් ම පරිගෘහිත වූ හෙයින්ද, වෙහාරාදි පර්‍වත රාජයන් විසින් පරිගෘහිත වූ හෙයින්ද, සියලු සත්ත්වයන්ගේ ගෙවල් රජුන්ගේ ගෙවල් හා සම වූ හෙයින්ද, නො එක් සර්‍වඥරාජයන්ට පිණ්ඩපාත ගෘහයක් බඳු වූ හෙයින් ද, බුද්ධොත්පාදයෙහි බුද්ධදර්ශනය නිසා රැස්වන්නාවූ චන්ද්‍ර සූර්‍ය්‍යාදි රාජග්‍රහයන්ගෙන් පරිග්‍රහ වන හෙයින්දැයි නානා විධවූ අර්ථයෙන් ඒ නුවර රාජගෘහ ය යි නම් වි ය. එසේ හෙයින් එ නුවර බුදුන් දවස ද චක්‍රවර්තින් දවසද නුවර වෙයි, සෙසු කල යක්‍ෂරාක්‍ෂසයන්ගෙන් පරිගෘහිත ව ඔවුන්ට ම වසනොද්‍යානයක් සේ තිබෙ යි.
ඔහු ජීවකය කොමාරභච්චය යි නම් දෙකක් කුමක් නිසා ලදුවාහු ද යත්?
ලෝකයෙහි ආවත්‍ථික ය, ලිඞ්ගික ය, නෙමිත්තක ය, අධිච්ච සමුප්පන්න යයි නාමයෝ සතරදෙනෙක් වෙති. එයින් කොලු ය, කෙලි ය, කොඹු ය, කෙඹි ය, වසු ය, වැසි ය, ළදරු ය, ළදැරි ය, මහලු ය, මැහැලි ය, යනාදී වසයෙන් සත්ත්‍වයන්ගේ ඒ ඒ වයස් බලා කියන නම් ආවත්ථික නම. කළු ය, එළලු ය, කුරු ය, කුදු ය, කෘශය, ස්ථුල ය, ශිඛණ්ඩි ය, දුන්නා ය, කුන්තයා ය, පලඟයා ය, ඡත්තපාණී ය, දණ්ඩපාණී ය යනාදි වසයෙන් සත්ත්‍වයන්ගේ ම සංඥාව නිසා කියන නම් ලිඞ්ගික නම. ධර්‍මධර ය, පණ්ඩිත ය, බහුශ්‍රැත ය, ස්ථවිර ය, ශ්‍රොතාපන්න ය, ආර්‍ය්‍ය ය, සර්‍වඥ ය, දසබලධර ය යනාදි වසයෙන් සත්ත්‍වයන් පැමිණියාවූ ගුණධර්‍මයන් ගෙන කියන නම් නෙමිත්තක නම, සිරිවඩ්ඪ ය, ධනවඩ්ඪ ය, අජිත ය, සිද්ධාර්ථ ය, ගෝතම ය, ශාක්‍යසිංහ ය, ආදිච්චබන්‍ධු ය, පරාක්‍රමබාහු ය, වික්‍රම බාහු ය, වීරබාහු ය, විජය බාහු ය, ජය බාහු ය, නිස්සඞ්කමල්ල ය, ත්‍රිභූවන මල්ලය, සාහස මල්ල ය, භුවනෙක බාහුය, ගජබාහුය, යනාදි වශයෙන් සත්ත්‍වයන්ගේ ඉච්ඡානුරූප වූ පරිද්දෙන් ලබන ලද නාමයෝ අධිච්චසමුප්පන්න නම් වෙති.
මෙ තැන වනාහී රාහු ලො ජාතො, බන්‍ධනං මෙ උප්පන්නං කී වචනය නිසා “රාහුල” නම් ලදුවා සේ, අඤ්ඤාසි වත හො කොණ්ඩඤ්ඤො යි වදාළ වචනය නිසා “අඤ්ඤා කොණ්ඩඤ්ඤ” නම් ලදුවා සේ, සක්‍යා වත භො රාජකුමාරායි කී වචන නිසා “ශාක්‍ය” නම් ලදුවා සේ, කුමාර පෙරහරින් වැඩි හෙයින් “කුමාර කාශ්‍යප” නම් ලදුවා සේ, පන්‍ථයෙහි ජාත හෙයින් “පන්ථක” නම් ලදුවා සේ, ස්වර්ණසාරයක් බඳු වූ රූපසාරයක් ඇති හෙයින් “බිම්බිසාර” නම් ලදුවා සේ, මහා ප්‍රජාවට පති හෙයින් “මහා ප්‍රජාපති” නම් ලදුවා සේ, මහා යශස් දරණ හෙයින් “යශෝධරා” නම් ලදුවා සේ, කපිල නම් සෘෂීන්ගේ පණ්ණශාලා භූමියෙහි උපන් හෙයින් “කපිල වස්තු” නම් ලදුවා සේ කෝළිය වෘක්‍ෂභූමියෙහි ජාත හෙයින් “කොළිය” නම් ලදුවා සේ, ශ්‍රාවස්ති නම් සෘෂීන්ගේ පන්සල් භූමියෙහි ජාත හෙයින් “ශ්‍රාවස්ති” නම් ලදුවා සේ, මොහු ද අභය රාජ කුමාරයන් විසින් ජීවකො කී වචනය නිසා “ජීවක” නම් ලදහ, ඒ කුමාරයන් විසින් වඩන ලද හෙයින් කොමාර භච්ච නම් ලදහ යි දතයුතු. මේ ඔවුන්ගේ පිළිවෙළ කථාව ය.