ඒ නුවර අසූකෙළක් ධන ඇති සිටාණන්ගේ සිටුදේවීන්ට ශීර්ෂාබාධයක් ඇතිව සත් හවුරුද්දක් මුළුල්ලෙහි මහත් වූ ව්‍යසන වී ය, දඹදිව බොහෝ වෛද්‍යාචාරිවරයෝ “අපි සන්හිඳුවම්හ, අපි සන්හිඳුවම්හ” යි වාසි කිය කියා අවුත් නො එක් පිළියම් කොට සම්පත් ගෙන යන්නාහු ය, ශීර්ෂාබාධ ය ඇසිල්ලෙකුත් සන්හිඳුවාලිය නුහුනුවාහුය. ජීවකයෝ එපවත් අසා ඒ සිටාණන්ගේ සත්වන වාසලට ගොස් සිට “වෛද්‍යයෙහි බලවත් ආචාරි කෙනෙක් වාසල සිටියෝ ය”යි කියා යවූහ. සිටුදේවී එ පවත් අසා ජීවකයන්ගේ වයස් විචාරා බාල දරුකෙනෙකැ යි අසා සිනාසී “දඹදිව ප්‍රසිද්ධ ආචාරිවරහු අවුත් මා ඇසිල්ලකුත් නිදවාපිය නුහුනුවහ, කිරිබොන තරම් බාල දරු කෙනෙක් කුමක් කෙරෙද්දැ”යි කියා “තමන් බඩසා වුව හොත් බත් ලවාගෙන කන්ට කියව, අනික් කිසි අඵාසුවෙක් ඇත් නම් ඉල්වා ගෙන යන්ට කියව, නන් නො දොඩා ආපස්සෙහි යන්ට කියව”යි කියා යවූහ.
ජීවකයෝ එ පවත් අසා “ශාස්ත්‍රය නම් බාල ය වැඩිමහලු ය යි යන බැවහාර නැත්තේය. නුවණ නම් වයස් නිසා ඇති වන දෙයෙක් නොවෙයි, මා දත් ශාස්ත්‍රය මුත් මාගේ වයසින් තමන් වහන්සේට ප්‍රයෝජන කිම් ද, තෙල රුජාව සන්හිඳුවාලා මුත් නොයෙමි, වැළිදු ධනහානියකුත් නො කෙරෙමි, මාගේ ශාස්ත්‍රබල දක්වා මුත් කිසිවක් නො ගන්මි”යි කියා යවූහ. සිටුදේවී ජීවකයන්ගේ නිර්භීත වූ සාරභාර තෙපුල් අසා ඉතා සතුටු ව පෙර ගමන් කොට ගොස් ජීවකයන් කැඳවා සාමීචි කථාකොට බත් බුලත් දී සතපා හිඳිනා අසුන් දී ‘‘පුතණුවනි! සත් හවුරුද්දක් මුළුල්ලෙහි නින්දක් නොලද්දාවූ මා එකදවසක් නිඳවාපිය නොහෙනුයේ දැ”යි විචාළහ. ජීවකයෝ “ඇසිල්ලෙකින් සන්හිඳුවාලමි යි පතක් පමණ ගිතෙල් උව මැනැවැ”යි කියා ගෙන්වා ගෙන තමන් අතින් නො එක් ඖෂධ ලා තෙල් සිඳ නිවා නශ්‍ය කළහ. තෙල ඉසට උරාගැන්ම හා සමඟ තෙලින් භාගයෙක් ඉසට නැංග, භාගයක් මුඛයට බට. මුඛයට බට තෙල් බිමට දමා “කෙල්ලනි! තෙල තෙල් පුලුනෙන් ඉඳ රැක තබව”යි කියා තෙල් ඉඳුවා තැබ්බුහ. එ වේලෙහි ජීවකයෝ බිම හුණු තෙලිත්ත හිඳිනා දැක මා කෙළේ කිම් ද, තෙල් බින්දුවට පවා මේ සා වූ ලෝභ කරන්නාහු මට දියයුතු කුලී කෙසේ නම් දීපිහෙද් දැ”යි සිත සිතා කලකිරී සිටියහ. සිටුදේවී ජීවකයන්ගේ අදහස් දැන “පුත! කුමක් සිතා සිටිනේ දැ” යි විචාළහ.
ජීවකයෝ “දේවීන් වහන්ස! නුඹගේ සම්පත් ලෝභය සිත සිතා සිටියෙමි, මා අතින් බොහෝ ඖෂධ නසා මේ තෙල් කකාළෙමි, බිම වැගිර ගිය තෙලිත්තට නුඹ වහන්සේ මෙසේ ලෝභ කල, සේක් නම් කෙසේ නම් මට මිල දෙනුයේද, මා අත තුබූ බෙහෙත් බඩුයෙනු ත් නො වෙම් දෝ හෝ යි සිතමි”යි කීහ. එ බසට සිටු දියණියෝ කියන්නාහු “පුතණ්ඩ! එසේ නො කියව, අපි උපයන අවස්ථාවෙහි මෙසේ සියුම් ව උපයන සේත් දනුම්හ, වියදම් කරන අවස්ථාවෙහි උදාර කොට දෙන සේත් දනුම්හ, අනාථයේ වල දමන සේ නො දනුම්හ, බිම හී ගිය තෙලිත්තෙන් කිසිවක් හට ප්‍රයෝජන නැත. පුලුනින් ගත් තෙලිත්ත පහනක් හෝ අවුළුවාලිය හැක්ක, නැතහොත් කන හෝ තබාගත හැක්ක, දුක්පත් කෙනකුන් අතපය හෝ ගාපිය හැක්ක, ඊට නුඹ නො සිතා නුඹ කළමනා පිළියම් කරන්නැ”යි කීහ. සිටුදේවීන් තෙල ඉසට නැඟීම හා සමඟ ඉස රුජා අන්තර්ධාන වි ය. මෙතෙක් කථාකරන්නාහු ද රුජාව සන්හුන් බවු දැන සතුටු සතුටුව ම කථා කළහ.
ඉක්බිත්තෙන් සිටු දේවි සිටාණන් මුහුණ බලා “මාගේ හිස රුජා අන්තර්ධාන වි ය, මට පෙර දවස් මෙන් ම ඉස ලඝු විය, මේ සත් හවුරුද්ද මුළුල්ලෙහි නුඹ මට කැරවූ ප්‍රතිකාරයෙන් මෙ බඳු වූ සැපයක් නො ලද්දෙමි, ම පුතණුවන්ට සමාධියක් කරන්නැ” යි කීහ. එ වේලෙහි සියලු පරිවාර ජනයෝ සාධුකාර දුන්හ. ඉක්බිත්තෙන් ජීවකයන්ට සිටාණන්ගෙන් සාරදහසක් හා, සිටුදේවීන්ගෙන් සාරදහසක් හා, පුතණුවන්ගෙන් සාරදහසක් හා, යෙහෙලනියන්ගෙන් සාරදහසක් හා මෙසේ සොළොස් දහසක් නීලකර්ෂාපණ සංඛ්‍යාත වූ රන් දී අසුන් යෙදූ රථයක් හා දාස දාසීන් ගව මහිෂයන් ආදි වූ බොහෝ සම්පත් දුන්හ. අසූ කෙළක් ධන ඇති කුලෙහි සම්පත් මඳකොට දුන්නාහුද? යත්; බැවහාර රනින් විස්සෙක් නම් නීල කර්ෂාපණයෙන් එකෙක් වෙයි, තුන්ලක්ෂ විසිදහසක් මසුරන් දෙන්නාහු ඔවුන් හා කැටිව බොහෝ සම්පත් ගෙනයන පරිවාර ජනයන් මඳහෙයින් මාහැඟි වූ රනින් සොළොස් දහසක් ආදිවූ බොහෝ සම්පත් දුන්හ යි දතයුතු.
ඉක්බිත්තෙන් ජීවකයෝ පළමු වන පිළියමෙහි ම මේ සා සැපතක් ලදින් ඒ සැපත් ගෙන්වා ගෙන ඒ රථයට නැඟී රජගහා නුවරට ගොස් පියාණන් දැක තමන් තක්සලා නුවර ගොස් වෛද්‍යශාස්ත්‍ර ය හදාළ නියාව ත්, සිටුදේවීන්ගේ ආබාධ ය පිළියම් කොට සම්පත් ලද නියාව ත්, යනාදි සරූප කියා “මේ මා ලද පළමු වන සැපත නුඹවහන්සේ මා වැඩි පොසාවනික මිලයට ගෙන වදාළ මැනැවැ”යි කීහ.
අභය රාජකුමාරයෝ එපවත් අසා “තොප මිල නිසා වැඩුයෙම් නො වෙමි, තොප සාලවතී නම් ගණිකාව වැදූ දවස් දමාපු තැන දැක මට තොප දා බවු නොදැනම පුත්‍රස්නේහ උපදවා දරු කොට වැඩීමි, තොප මට දා බවු පසුව දත්මි, එසේ හෙයින් තෙපි මාගේ සහජාත පුත්‍රයහ, තෙල සැපත් තෙපි ම ගන්ව, තව ද මාගෙනු දු සැපත් ගෙන මාගේ රජගෙය සමීපයෙහි ගෙයක් නංවා ගෙන මාළඟ සුවසේ වසව”යි කීහ. එ කල ජීවකයෝ පියාණන් ගේ රජගෙට නුදුරු තෙන ගෙයක් නංවාගෙන වාසය කෙරෙති.