ජීවක කතාව

star_outline

විශාලා මහනුවර අම්බපාලි නම් ගණිකාවක් ඇත, ඕතොමෝ දිව්‍ය සමාන වූ ශරීරවර්ණ ඇත්තී ය, සල්ලාලයන් මන වඩන්නාවූ රූපවිලාස ඇත්තී ය. දහස් ගණන් පරිවාර ජනයන් ඇත්තී ය. සත් දහස් සත්සිය සත් ලිච්ඡවි රජුන් කෙරෙහි ද ඉතා වල්ලභ ය. එ නුවර නැඟු ධ්වජයක් වැන්නී ය. සල්ලාලයෝ දවස දහසක්දී ඇය ප්‍රාර්ථනා කරන්නාහුය. ඒ නුවර ඇගෙන් ම හොබන්නේ ය යි දඹදිව ප්‍රසිද්ධ විය.

එ කල රජගහා නුවර බිම්බිසාර රජ්ජුරුවෝ එ පවත් අසා “චක්‍රවර්තින් උපදනා වූ අමිතභොගී සිටුවරුන්ගෙන් හා අටළොස් කෙළක් කුලයෙන් ශෝභාවත් වූ මාගේ මෙබඳු වූ ශ්‍රී නගරයක් විශාලා මහනුවරට එක ගණිකාවක නිසා අඩු වනු නො යෙදෙයි, මාගේ නුවර ද වෙශ්‍යාවකගෙන් ශෝභාවත් කරමි”යි සිතා එ නුවර මුළුල්ලෙහි රූපත්වූ ස්ත්‍රීන් පරීක්ෂා කොට සාලවතී නම් කුමාරිකාවක උතුම් රූ ඇති සේ අසා ඇය රාජාඞ්ගණයට ගෙන්වා මුළු නුවර වැස්සන් රැස් කොට මෙ පවත් කියා “අපි ම ඇති කරම්හ”යි මන්ත්‍රණය කොට නුවර වැසියන්ගෙන් මසුරන් දෙලක්ෂයක් හා තමන්ගෙන් ලක්ෂයක් හා මෙසේ තුන් ලක්ෂයක් මසුරන් හා වෙශ්‍යාවන්ට සුදුසු වූ රුවන් පලඳනා හා පිරිවර ජනයන් හා උයන් පොකුණු බත්ගම් ආදි වූ නො එක් සැපත් හා සත්බුමු මහ පායකු දු දී, එ නුවරට අග්‍ර වූ වෙශ්‍යා තනතුරු දී දවස දෙදහසක් දී, ඇය කරා පුරුෂයන් වදිනා සේ නියෝග කොට අම්බපාලී නම් ගණිකාවට දියුණු වූ ස්ථානාන්තර හා සම්පත් දුන්හ. එ තැන් පටන් ඒ සාලවතී නම් ගණිකාව ද එ නුවර නැඟු ධ්වජයක් සේ ප්‍රසිද්ධ විය.

එ කල ඒ නුවර බිම්බිසාර රජ්ජුරුවන්ට පුත් වූ අභය නම් රාජ කුමාරයෝ ද ඒ වෙශ්‍යාව කරා වදිනාහ, එසේ හෙයින් ඒ රාජකුමාරයන් ඇය කරා වැදගිය දවසෙක ඒ රාජකුමාරයන් උදෙසා ඈට දරුගැබෙක් උපණ: රාජකුමාරයෝ නො දන්නාහ. වෙශ්‍යාවෝ නම් දරුවන් ඇතත් නැත්තා සේ පුරුෂයන් වඤ්චා කරන ස්වභාව ඇත්තාහ, පුතුන් ලද කල වල දමන්නාහ, දූන් ලද කල නො හඟවා වඩන්නාහ. එසේ වූ ධර්‍මයක් ඇති හෙයින් ඕ ද තමා දරු ලදහ යි නුවරට සැලව ගියේ වී නම් සල්ලාලයෝ මා කෙරෙහි සරු නැති ව යන්නාහ, මායමක් කෙරෙමි යි සිතා පරිවාර ස්ත්‍රියක කැඳවා “මා කරා ආ කෙනෙක් ඇත් නම් මා ලෙඩහ යි කියා පුරුෂයන් ඇතුළට නොගෙනැ’’යි උගන්වා දසමසක් ගිය කල පුතකු වදා ඔහු කුලුමාල්ලෙක ලවා මතුයෙහි කසළ ලා වසා “මොහු නුවරින් පිටත ගෙන ගොස් උක්කාර භූමියෙහි ලා පියව’”යි එම කෙල්ල අත යවා දම්මවා තමාගේ ගෙය සුවඳ පිරිබඩ ගෙන ලෙඩින් ගොඩ නැංගා සේ අතුරක් නො හඟවා පෙර සේම වෙසෙයි.

එ දවස් අභය රාජකුමාරයෝ එ නුවර ක්‍රීඩාවෙන් ඇවිදිනාහු ය. එකල කපුටුවෝ කුමරහු කරා රැස් ව මස්වැදැල්ලෙකැ යි සිසාරා අතුරු නො දී තුඩු අමෝරා ගෙන කුමරහුගේ පින් බලයෙන් කිසිවක් කොට ලිය නොහී කාරැස් බඳිති. එ කල රාජ කුමාරයෝ “තෙල කපුටුවන් කාරැස් බඳනේ කුමන කුණපයකටදැ”යි විචාරා “ස්වාමීනි! වලදමාපු බාල දරුකෙනෙකුන්ටය”යි කී කල ජීවත් ද අජීවත් දැ යි විචාරා “ස්වාමීනි! ජීවතැ”යි කී කල “ඔහු මෙසේ ගෙනෙව”යි ගෙන්වා කුමරහු දැක කුමරහුගේ ඒ ජාතියෙහි සෝවාන් වන පින් බලයෙන් හා තමන්ට ජාත වූ පුත්‍ර ස්නේහයෙන් හා ආද්‍ර වූ සිත් ඇති ව එ කෙණෙහි දරුපෙම් බැඳ රජගෙට ගෙන ගොස් කිරිමවුන්ට පාවාදී කුමාර පෙරහරින් නො එක් මඟුල් කරවා වැඩූහ. ජීවත් දැ යි කී බස නිසා ජීවක නම් වූහ, කුමාරයන් වැඩු හෙයින් කොමාර භච්ච නම් වූහ.

මෙසේ වැඩෙන්නාවූ ඒ ජීවකයන් සත් අට හැවිරිදි වූ කල කෙළිමඬලෙහි සෙසු රජකුමරුවෝ “මවුන් නැත්තව”යි කිය කියා බැණ බැණ කෙළිති. එ කල ජීවකයෝ ලජ්ජා ඇති ව අභය රාජකුමාරයන් කරා පලාගොස් “ස්වාමීනි! මා වැදුවෝ කවුරුදැ”යි විචාළහ. එ කල රාජකුමාරයෝ මඳක් සී “තොප පියාණෝ නම් මම ය, තොප මවුන් කා බව ත් නො දන්මි, තොප වල දමා පියා ඔත් තැන දැක වඩා ගතිමි”යි කීහ.

එ තැන් පටන් ජීවකයෝ තමන් වූ පවත් දැන “මාගේ කිසි නෑසිය කෙනෙකු ත් නැත, මතු මට හිමි වන කුලසැපතෙකුදු නැත, එසේ හෙයින් මා විසින් ශිල්පයක් හදාරා ගත මැනව, ශිල්ප බලයෙන් බොහෝ දෙනා නෑ කොට ගෙන ධන උපදවා ගත මැනැව, කෙසේ වූ ශිල්පයක් හදාරම් දෝ හෝ” යි නිරවද්‍ය වූ ශිල්ප පරීක්‍ෂා කරන්නාහු “අෂ්ටාදශ ශිල්ප හා සුසැට කලා ශිල්පයෙන් සෙසු ශිල්ප පරපීඩා-පරහිංසා මිශ්‍රය, වෛද්‍ය ශිල්පය හදාරා ගතිම් නම් වෛද්‍යාචාර්‍ය්‍ය ය යන නම් ඇසූ කල ම සත්ත්වයෝ මවුන් පියන් ගුරු කොට සිතා ඔවුන් කෙරෙහි ප්‍රිය ඇති වන්නාහු ය, වෛද්‍යශාස්ත්‍ර ය නම් දතුවාහට මෙ ලොව ත් වැඩ වෙයි, පරලොවත් වැඩ වෙයි, එසේ හෙයින් වෛද්‍ය ශාස්ත්‍ර ය ම උගනිමි”යි සිතා තක්සලා නුවර ගොස් දිසාපාමොක් ආචාරීන් දැක තමන් ආ පවත් කියා සිටියහ.

ආචාරි “තෙපි කවුරුදැ”යි විචාළ කල “අනිකක් කීම් නම් මා කෙරෙහි ආදර නොකරති”යි සිතා “රජගහා නුවර බිම්බිසාර රජ්ජුරුවන්ගේ මුනුබුරානෙමි, අභය නම් රාජ කුමාරයන් පුතණු වෙමි”යි කීහ. කුමන ශාස්ත්‍රයක් උගනු දැ යි විචාළහ; වෛද්‍ය ශාස්ත්‍රය උගනිමියි කීහ, ආචාරිහු “ආචාරිභාගය ගෙනවුදැ” යි විචාළහ; දෙමවුපියන්ට නො කියා ශිල්ප ලෝභයෙන් සොරා අයිමි, එසේ හෙයින් ආචාර්‍ය්‍යභාග ය නො ගෙනායෙමි, නුඹවහන්සේට මෙහෙ කොට ධර්මාන්තෙවාසික ව ශිල්ප හදාරමි යි කීහ. එ කල ආචාරි “මෙ තෙම පින්වත් පුරුෂයෙකැ” යි සිතා ශුභ මොහොතකින් වෛද්‍යයට පටන් ගැන්වූහ.

එ වේලෙහි “බුදුන්ට පිළියම් කෙරෙමි”යි කප්ලක්ෂයක් පැරුම් පුරා ආ කෘතාධිකාර පුණ්‍යවන්තයා හෙයිනුත් බුදුනුදු දිව්‍යමය වූ පිළියම් ලද මනා පිනිනු ත් ශක්‍රයාගේ භවනය කම්පා වි ය. එ වේලෙහි ශක්‍රදේවේන්ද්‍රයෝ මොහු දැක “මාගේ බුදුන්ට මතු පිළියම් කරන වෙදහුට මම ආචාරි වෙමි”යි සිතා එ කෙණෙහිම අවුදින් ආචාරීන් මුඛයෙහි අධිගෘහිත ව ශක්‍රයෝම අසන තැන් කියන්නට පටන් ගත්හ. අසන තැන් කියා අන්තයෙහි ශක්‍රයෝ ආචාරීන් ඇඟින් පහ වෙති, ජීවකයෝ “ආචාරීන් ම අසන තැන් කියති”යි සිතති. ආචාරි තමන්ගේ බලයක් නො වන නියාවත් දෙවියන්ගේ බලයෙන්ම අසන තැන් කියන නියාවත් විශේෂයෙන්ම දනිති. කුමක් නිසා දනිද්ද? යත්; ජීවකයන් උගත් දිව්‍ය ඖෂධ වල නම් ආචාරි කුමක් බවු නො දනිති, ජීවකයන් තමන් අතින් අසාගෙන සන්හිඳුවාලන ව්‍යාධි ආචාරි සන්හිඳුවාලිය නො හෙති, මේ කාරණයෙන් ආචාරි දෙවියන්ගේ බල බැව් විශේෂයෙන් ම දනිති.