චණ්ඩපජ්ජොත රජුට කළ පිළියම

star_outline

මෙසේ ඒ ජීවකයන් දඹදිව දිව්‍යද්‍රැමයක් සේ ප්‍රසිද්ධවූ සමයෙහිම උදේනි නුවර චණ්ඩ ප්‍රද්‍යොත නම් රජහටද පාණ්ඩු රොගයෙකින් ආබාධයෙක් වි ය. ඒ රජ්ජුරුවෝ ද නො එක් පිළියම් කරවා සාධ්‍යයක් නො ලදින් ජීවකයන්ගේ පවත් අසා නො එක් රජ පඬුරු දී බිම්බිසාර රජ්ජුරුවන් කරා දූතයන් නො එක් වාරයෙහි එවති. රජ්ජුරුවන් යව යි කී කල ඒ රජුගේ පවත් ආදි ම තමන් අසා දන්නා හෙයින් “ඔහුගේ ව්‍යාධි සන්හිඳුවාලීම පිළිවන් නොවන්නේය”යි කියා ජීවකයෝද නො එක් වාරයෙහි ප්‍රතික්ෂෙප කොට නො යෙති. කාරණ කිම? යත්;

ඒ රජ්ජුරුවෝ තුමූ තෙලෙහි ප්‍රතික්කූල ඇතියහ, කිසි යම් තෛල ජාතියක් ඇඟ ද නො ගාවති, අනුභව ද නො කෙරෙති, තෙල්වැටපහනු දු නො බලති, මලකඩ පහන් රජගෙහි නංවති, තෙලෙහි නම කීවන්ට ක්‍රෝධ කෙරෙති. තෙලෙහි කුමක් නිසා ප්‍රතික්කූල ඇතියාහු ද යත්; ඒ රජ්ජුරුවෝ ගෝනුස්සක්හට දා වූහ. කෙසේ දා වූ ද යත්? ඒ රජ්ජුරුවන්ගේ මෑණියන්ගේ පූර්‍ව ජන්මයෙහි වල්ලභයා බිසොවුන් කෙරේ සිත් තබා මිය අහේතුක ප්‍රතිසන්‍ධියෙහි ගෝනුසු ව ඉපැද එම රජගෙයි බිසවුන්ගේ ශ්‍රී යානය යට වාසය කෙරෙයි. එක් දවසෙක බිසොවුන් උතුනී ව නහා මල් සුවඳ පැලඳ යානේ වැදහොත් කල්හි ගෝනුසුහු බිසොවුන් කෙරෙහි ප්‍රේම දරාගත නො හෙනුයේ “රජහට පළමු මම මෑ හා ආස්වාදයක් කෙරෙමි”යි යානට නැඟී බිසොවුන් නාභියෙහි පරාමර්ශනය කෙළේය, එවේලෙහි නාභිපරාමර්ශනය හා සමග ම බිසොවුන්ට ද රතිචලන ය විය. මවගේ උතුනී භාවයක් හා එක්තරා එක් ආකාරයෙකින් කාමයන්ගේ චලන ය වීමක් හා සත්ත්වයක්හුගේ ඉපදීමක් හා, මේ තුන්දෙනාගේ සමාගමයෙන්ම දරු ගබක් හටගන්නා හෙයින්, එ වේලෙහි රජ්ජුරුවෝ ද ගෝනුස්සාට දාව පිළිසිඳ ගත්හ, මේ කාරණයෙන් ඒ රජ්ජුරුවෝ ද විච්ඡිකයන්ගේ වර්ණ ඇතියහ, විච්ඡිකයන් සේම නිර්ගුණියහ. ඉතා ම චණ්ඩයහ, එසේ හෙයින් චණ්ඩප්‍රද්‍යොත යයි නම් ලදහ. ගෝනුස්සන්ට තෙල් ජාති නම් විෂ හෙයින් ඒ රජ්ජුරුවන්ට ද තෙල් ජාති විෂ හා සමානය, මේ කාරණ දැන “තෙලක් වළඳවා මුත් විරේකයක් කවා මුත් පාණ්ඩු රෝග ය සන්හිඳුවා ලිය නො හැක්කැ” යි කියා පිළියමට නො යෙති.

නැවත ද බිම්බිසාර රජ්ජුරුවන් කරා පඬුරු හා දූතයන් යැවූහ. එකල රජ්ජුරුවෝ ජීවකයන් කැඳවා “පුත! චණ්ඩප්‍රද්‍යොත රජ්ජුරුවෝ මා හා අති විශ්වාසී ය, මේ වාරයෙහි උත්තර නො කියා ගොස් උන් කීවාට වැනිව උන් බලාපියා වී නමුත් එව”යි කියා ජීවකයන් යවූහ. එ කල ජීවකයෝ උදේනි නුවර ගොස් රජ්ජුරුවන් දැක අවස්ථා බලා මායමකින් බෙහෙත් තෙලක් පොවා මේ රජහුගේ ජීවිතය රැක දෙමි” යි සිතා “මා වැනි වෙදක්හු ඇස පෙනී ගිය ව්‍යාධිගත රජක් නැසී යාම සුදුස්සෙක් නො වෙයි, එසේ ද වුවත් මේ රජ චණ්ඩය, කාරණාකාරණ පරීක්ෂා නොකෙරෙයි, තෙල් පෙවූවිටම ක්‍රෝධයෙන් මා මරවයි. මායමකින් තෙල් පොවා මොහුගේ ද මාගේ ද ජීවිත රක්ෂා කළ මනා වේ දැ”යි සිතා දේවයන් වහන්ස! මේ ව්‍යාධිය සන්හිඳුවා ලමි, කිසි භයක් නො කළ මැනැව, බල එකෙක් ඇත. වෙදවරු නම් ඖෂධයට ලෝභියහ. අනුන් ලවා බෙහෙත් නො ගන්වති, ඒ ඒ යෝගයෙහි ඒ ඒ ඖෂධයන් තුමු තුමූ ම ස්වහස්තයෙන් ගන්නාහු ය, එසේ හෙයින් මා ත් නුඹගේ මේ නුවර කැමැති වාහනයක් නැඟී කැමැති වාසලකින් කැමැති යම් වේලෙක මා සිත්සේ ම යන එන සේ රකවල් හළ මැනැවැ”යි කීහ.

ඒ චණ්ඩප්‍රද්‍යොත රජ්ජුරුවන්ගේ අනර්ඝ වූ දිව්‍යසමාන වූ වාහන පසෙක් ඇත. කෙසේ වූ වාහන පසෙක් ද යත්? භද්‍රවතී නම් ඇතින්නක් දවසක් ඇතුළත පනස් යොදුන් ගොස් පනස් යොදුන් එන පමණ ගමන් ඇත්තී ය. දෙවියන් විසින් මැවූ ඔපපාතික වූ කාක නම් දාවායෙක් දවස සැට යොදනක් ගොස් සැට යොදනක් එයි. නාලාගිරි නම් ඇතෙක් සියක් යොදුන් ගොස් සියක් යොදුන් එයි. මුඤ්ජකෙශී නම් වෙළඹක හා තෙලකර්ණ නම් අශ්වයකු හා දෙදෙන එක්සිය විසි යොදුන් ගොස් එක්සිය විසි යොදුන් එන්නාහ. මුළු දඹදිව මෙසේ වූ පඤ්ච මහා වාහන ඇති එක රජෙකුත් නැත. ඒ කෙසේ වූ පින් බලයෙකින් ලද්දාහු ද? යත්;

ඒ රජ්ජුරුවෝ ගිය දවස දිළිඳු වූ කුලයෙක ඉපැද අනුන් විසින් දන්දෙන ලද බත්පාත්‍රයක් සමසිතින් තමන් කර තබා ගෙන වහ වහා දිවගොස් වේලා නොවරදවා පසේබුදු කෙනකුන් වහන්සේට පිළිගන්වා තමන් අතින් දැවැටි පැන් පෙරාදී වළඳවා “ස්වාමිනි! නුඹ උදෙසා අද මා විසින් කළ කාය වෙය්‍යාවතෙහි අනුසසින් මතු මෙසේ වූ දුඃඛිත කුලයෙක නූපදිම්වයි, රජකුලෙහි උපදිම්ව යි, මේ බත්පාත්‍රය ඉසිළූ පිනින් මතු මා උසුළන ශීඝ්‍ර වාහන ලබම්ව”යි ප්‍රාර්ථනා කළහ. එ වේලෙහි පසේ බුදුන් වහන්සේ ද ඕහට මතු වන වැඩ දැක:-

ඉච්ඡිතං පත්‍ථිතං තුය්හං - ඛිප්පමෙව සමීක්ධතු

පූරෙන්තු චිත්තසංකප්පා – චන්‍දො පණ්ණරසො යථා-යි

යනාදීන් බණ වදාරා වැඩි සේක. පෙර කළ එබඳු වූ කුසලයෙකින් මෙබඳු වූ රජකුලෙහි ඉපැද පඤ්චමහා වාහනාධිපතී වූහ යි දත යුතු.

එ වේලෙහි රජ්ජුරුවෝ ජීවකයන් කී පවත් අසා “මාගේ මේ වාහන පසින් තොප කැමැති යම් වාහනයක් නැඟී කැමැති වාසලකින් කැමැති වේලාවක, සිත් සේ ඇවිදුව”යි රකවල් අළහ. එ කල ජීවකයෝ ද කීප දවසක් එයින් කැමැති කැමැති වාහන නැඟී ඒ ඒ වාසලින් වේලෙහි නො වේලෙහි ඔබමොබ ඇවිද නුවරවාසීන් හා රජ්ජුරුවන් තමන් කෙරෙහි සැක හරවාගෙන එක් දවසක් නො එක් ඖෂධ භාවිත කොට බෙහෙත් තෙලක් කකාරා රන්තැටියෙන් ගෙන “දේවයෙනි! මේ බලවත් වූ කෂායෙක, බැලිය නො හැක්ක, හිම්බ නො දැක්ක, එසේ කළෝතින් ඖෂධයෙහි වීර්‍ය්‍ය මඳ වෙයි, එසේ හෙයින් ඇස පියාගත මැනැවැ” යි කියාලා රජ්ජුරුවන් ඇස පියාගත් කල්හි “රස නො බලා එක සුස්මෙන් පුව මැනැවැ”යි බෙහෙත් අතට දුන්හ. රජ්ජුරුවෝ ද එක අතෙකින් නාසය මැඩ අල්වාගෙන බෙහෙත් මුඛයට දිගු කළහ.

එ කෙණෙහි ජීවකයෝ එ තැනින් පහව “මෙසේ මෙසේ වූ වෙද බත් වෙදමාලුයෙන් රජ්ජුරුවන්ට ප්‍රතිකාර කරව”යි අභ්‍යන්තරයන්ට කියාලා ඇත්හලට දිව ගොස් භද්‍රවතී නම් ඇතින්න නැඟී නුවරින් පිටත්ව සුළං වේගයෙන් රජගහා නුවර දිසාවට දිවන්නාහු දහවල් බතට පනස් යොදුනක් ගොස් කොසැඹෑ නුවර ශාලාවට වැද ඇතින්න සැත් උනා සැතපී හිඳ “රජුගේ පනස් යොදනක් මේ ඇසිල්ලෙහි මා හඹා අවුත් අල්වා ගන්නා තරම් සේනාවෙක් නැත, එව ත් නම් දාවායා එවති, ඇතු එවති, අසු එවති, වෙළඹ එවති, මා ඇඟ ඇතුන් පස්දෙනකුට බල ඇති හෙයින් ඔහු මා නො කැමති කරවා ගෙන යා නොහෙති. ආ කෙනෙක් ඇත් නම් රජුගේ ඇතින්න පාවාදී යවමි”යි සිත සිතා මඟ බල බලා “දහවල් බත් මෙතැනදී කමි”යි සිත සිතා උන්හ.

එවේලෙහි රජ්ජුරුවෝ බෙහෙත් තෙල එක හුස්මෙන් බී තැල්ලක් නඟා තෙල් බවු දැන ජීවකයන් කෙරෙහි ඉතා මහත් වූ ක්‍රෝධ කොට සුළං දුටු ගිනිකඳක් සේ කිපී “ජීවක යා මා විෂ තෙල් පොවාපීය, දැන්දක් මියෙමි, මා සතුරා ගෙන උල අන්ව”යි නියෝග කෙළේය. එකෙණෙහි රජහුගේ ආමාත්‍යයෝ ජීවකයන් බලා නො දැක “භද්‍රවතිය නැඟී පලා ගියේ ය”යි අසා අවුත් “දේවයෙනි! ජීවකයා පලා ගියේ වේ ද, තෙමේ මතු නොවෙයි. නුඹගේ භද්‍රවතී නම් ඇතින්න ද හැරගෙන ගියේ වේ දැ”යි කීහ. එ වෙලෙහි රජ්ජුරුවෝ නැවත කිපී කාක නම් දාවායා කැඳවා, “කොල! දිව ගොස් ජීවකයාත් මාගේ ඇතින්නත් වහා ම ගෙනවුත් පෑල” යි කියා නියෝග කොට නැවත “ජීවකයා නම් සොර, මහත් වූ මායම් දන්ති, තා සලා මරාපියත් පොහොසත, ඔහු දුන් දෙයක් නො ක”යි උගන්වා යවූහ.

එ කෙණෙහි දාවයා පනස් යොදනක් දිව ගොස් කොසඹෑ නුවර ශාලාවෙහි උන් ජීවකයන් දැක “නුඹ නො හැර ගෙන යන්ට රජ්ජුරුවෝ කීහ, ආපස්සෙහි නික්මුණ මැනැවැ”යි කී ය. ජීවකයෝ ද එ වේලෙහි තමන් බල ඇති නියාව ත්, නො කැමැති කරවා ගෙන යා නොහෙන නියාවත් නො හඟවා “එබැවින් යහළුව මා බඩසා ය, මා බත් කා පියන තෙක් මඳක් බලව”යි කියාලා ඔහු අස්වසා බත් කන්නාහු “තෙපි ද බත් කව”යි කීහ. දාවයා තෙමේ රජහු කී බස් සිහි කොට “මම බත් නො කමි”යි කී ය. ජීවකයෝ ඔහු සිතැ සොරකම ද දැන, “තොප සයින් ඉන්දදී මම බත් කෙසේ කම් ද, බත් නො කන බැවින් මේ ඇඹුලපක අනුභව කොට පැන් බොව”යි කියාලා ඇඹුලපක නිය අගින් බෙහෙදක් ඔබා දුන්හ. හේතෙම ඒ සොරකම නො දැන ඇඹුලයෙන් අර්ධයක් කා මුර්ඡාවිය. තුබු අර්ධය බිම හෙළා තෙමේද බිම හී ජීවකයන් ගෙන යන්නා තබා තෙමේ තමා බවු නො දන්ති.

එ කල ජීවකයෝ සුවසේ ඉඳ බත් කා විඩා ත් නිවාගෙන ඇතින්නද පැන් පොවා ඇගේද විඩා සන්හිඳුවා දාවයා කරා ගොස් “දරුව වැළි අප හැරගෙන නො යාදැයි” කීහ. එවේලෙහි දාවයා ඇස දල්වා ජීවකයන් බලා දොහොත් මුදුනෙහි තබා “හිමි නුඹගෙන යන්නා තබා මම මා ගෙන යා නො හෙමි, මා වැනි දාවයෙක් මේ මුළු දඹදිවු තෙලෙහි නැත. මා වැනියක්හු නොමරා දිවිරැක වදාළ මැනැව, බල නුඹ කැමැත හොත් නුඹ හා කැටිව යෙමි” යි කීය. එවේලෙහි ජීවකයෝ සිනා සී “භය නොකර, තා මිය යා නො දෙමි”යි ඔහු අස්වසා අනික් ඇඹුලපකක් ගෙන අනික් නිය අකින් ඖෂධයක් ඔබා “තෙලේ කා බලගැ”යි දුන්හ.

හේතෙමේ එයි ත් භය ඇති ව ජීවකයන් මුහුණ බලා “ස්වාමිනි, ආදි කෑ ඇඹුලපලින් ඉස ඔසවා ගත නො හෙමි, මෙ විට සැකයෙයින් ම පණ පලායන උපදෙසෙක් දැ යි භය ඇතියෙමි”යි කීය. ජීවකයෝ මා උපන් දවස් පටන් අද දක්වා ලෙහෙඬිල්ලකත් නො බින්දෙමි. මාගේ ප්‍රාණය නසත් නමුත් අනික් ප්‍රාණයක් නො නසමි භය නො කොට කා බලගැ”යි කීහ.

හේ තෙම ඒ ඇඹුල ය අනුභව කොට අමාදියෙහි ගැලුවා සේ ස්වප්නයෙන් දුටු දෙයක් සේ, කිසි පීඩාවකුත් නැති ව පැනනැඟී සිනා සිසී “මට කිසි නුසුවයෙකුත් නැත ස්වාමිනි”යි කී ය. එ වේලෙහි ජීවකයෝ “තෝ මතු නො වෙයි. තාගේ රජ ද මෙතෙකට ගොඩ නැංගේම ය. අද පටන් ඔබහට ද කිසිවක් ලෙඩ නැත, ඔහු කරා මම නො යෙමි, කීප දවසක් ගිය කල මාගේ අරුම තාගේ රජහට ම දැනෙති. ඕහට ද එපවත් කියාල”යි උගන්වා ඇතින්න ද ඕහටම පාවා දී, ඔහු ආපස්සෙහි යවා, එකලාවම රජගහා නුවරට ගොස් රජ්ජුරුවන් දැක තමන් පිළියම් කළ පරිදි ත්, ගැළවුණු උපදෙසු ත්, රජ්ජුරුවන්ට කී ය. රජ්ජුරුවෝ එ පවත් අසා “තොප ගැළවී ගියේ .යෙහෙකැ”යි කියා තමන්ගෙන් ජීවකයන්ට ප්‍රසාද දුන්හ.

මෙසේ ජීවකයන් එ නුවර වසන කල මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ද කිසියම් ආබාධයෙක් වි ය. එ කල ස්වාමිදරුවෝ “ජීවකයා ද කොට ආ ප්‍රාර්ථනාව සිද්ධ කොට ඔහු ප්‍රසිද්ධ කෙරෙමි” සිතා ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා “ආනන්‍දය! බුද්ධකායට ද කිසි යම් ආබාධයෙක් ඇත, විරෙචනයෙක් වී නම් යහපතැ”යි වදාළ සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ද බුදුන්ගේ අදහස් දැන ජීවකයන් කැඳවා “බුදුන්ට කිසියම් ආබාධයෙක් ඇත, විරෙචනයක් කොට බලව”යි කී සේක.

එ කල ජීවකයෝ “මාගේ ස්වාමිදරුවෝ මාගේ අභිමත ය සිද්ධ කරණ සේක් වනැ”යි ඉතා සන්තෝෂ වූවාහු නුවරට ගොස් “අද බුදුන්ට විරේක කරවමි”යි රජ්ජුරුවන් ආදි වූ ශ්‍රද්ධාවන්තයන්ට කියාලා වෙහෙරට අවුදින් මහනෙල් මල් තුනක් ගෙන එහි නොඑක් ඖෂධයන් ගල්වා බුදුන් ශ්‍රී හස්තයට දී “ස්වාමිනි! මේ පළමුවන මල එක්වාරයක් ආඝ්‍රාණය කළ කල දශවාරයක් විරේක ව ශරීරයෙහි උග්‍ර වූ දෝෂ පලා යෙයි. දෙවන මහනෙල් මල ආඝ්‍රාණය කළ කල ද දශවාරයක් විරේක ව මධ්‍යම වූ දෝෂ යෙයි, පසු ව තුන්වන මහනෙල්මල ආඝ්‍රාණය කළ කල ද දශ වාරයක් විරෙක ව සියුම් වූ දෝෂ පලා යෙයි” කියා මහනෙල්මල් තුන බුදුන් ශ්‍රී හස්තයට පිළිගන්වා “බෙහෙත් පිණිස ඉඹ වදාළ මැනැවැ” යි කප්පිය වචනයෙන් ආරාධනා කොට ආඝ්‍රාණය කරවා සමතිස් වාරයක් විරේක කරවා බුදුන්ට ද අද්භූතවූ පිළියම් කළහ. එදවස් “බුදුන්ට විරේකයක් කළහ”යි අසා “අද බුදුන්ට ස්නේහ භෝජනයක් අප අපගෙන් දෙම්හ”යි අටළොස් කෙළක් පමණ කුලෙහි ශ්‍රද්ධාවන්තයෝ තමන් තමන්ගේ බලානුරූප වූ පරිද්දෙන් මහ දන් වතුරු කළහ.