දෙවන වෙදකම

star_outline

එ කල එ නුවර බිම්බිසාර රජ්ජුරුවන්ට භගන්‍දරාබාධයෙක් ඇත, කලින් කලට පිළක ය පැළී රජ්ජුරුවන්ගේ සළුපට ලෙහෙයෙන් රැඳී යෙයි. බිසෝවරු රජහුගේ සළුපට ලේ දැක “අපගේ දේවයෝ උතුනී වූහ, දරු උපතක් සිටිනා සැටි ය, නොබෝ කලෙකින් දරුකෙනකුන් වදන සේක, දූ දෝ හෝ, පුත් දෝ හෝ, දුවක් වී නම් දඹදිව කවර රජක්හට ශරණ පාවා දෙන සේක් දෝ හෝ, පුතෙක් වී නම් යහපත්මය, මතු මේ නුවර රජ කෙරෙති”යි යනාදීන් කිය කියා එකාවනුව රජ්ජුරුවන්ට වෙහෙසුම් කෙරෙති.

රජ්ජුරුවෝ ලජ්ජා ඇති ව දඹදිව බොහෝ වෙදවරුන් ගෙන්වා නො එක් වාරයෙහි පිළියම් කරවා සාධ්‍යයක් කරවාගත නොහී එක් දවසෙක අභය රාජකුමාරයන් තනි කොට කැඳවා මෙ පවත් කියා “වෙදකෙනකුන්ගේ සේරුවක් කියව”යි කීහ. එ වේලෙහි අභය රාජකුමාරයෝ කියන්නාහු “ස්වාමීනි! මාගේ පුතෙක් ඇත, හේ තෙම වෛද්‍ය ක්‍රියාවෙහි ඉතා දක්ෂය, ඔහු ගෙන්වා වදාළ හොත් යහපතැ”යි කියා ජීවකයන් තමන් වඩාගත් පවතුත් ඔවුන් ශිල්පය උගත් පරිදිත් කල්‍යාණවූ ගුණ ඇති පරිදිත් කීහ. එ වේලෙහි රජ්ජුරුවෝ සමාධි ව “එසේ වී නම් තෙපි ම ඔහු මා කරා කැඳවාගෙන එව”යි කීහ.

අභය රාජකුමාරයෝ එ වේලෙහි තමන්ගේ ගෙට ගොස් ජීවකයන් කැඳවා රජ්ජුරුවන් කී පවත් කියා “රජගෙට මා හා කැටිව එව”යි කීහ. එ වේලෙහි ජීවකයෝ යහපතැ යි ගිවිස ඒ ව්‍යාධියට තරම් වූ ඖෂධයක් භාවිත කොට නියහස්සෙන් සඟවා ගෙන පියාණන් හා කැටිව රජගෙට ගොස් රජ්ජුරුවන් දුටහ. රජ්ජුරුවෝ ජීවකයන් දැක උන්ගේ දර්ශනයෙහි පැහැද ඔවුන් තනි කොට මතුමාලට ගෙන ගොස් තමන්ගේ ව්‍යාධිය දැක්වූහ. එ වේලෙහි ජීවකයෝ ව්‍යාධිය බලා “අද ම සන්හිඳුවා ලමි, දිවි පමණින් මතු ඇතිවියත් නො දෙමි, මාගේ සුරුකම් බලා වදාළ මැනැවැ’’යි වාසි කියාලා නියහස්සෙහි තුබූ ඖෂධය මෑත් කොට පිළකය මතුයෙහි ආලේප කළහ. එ කෙණෙහි ඒ ආලේපය හා සමඟ භගන්‍දරාබාධය සන්හිඳී පිළිකය ඇති වූ තැන කොතන බවත් නොදැනෙන සේ අන්තර්ධාන වි ය.

එ කල රජ්ජුරුවෝ ජීවකයන් කෙරෙහි අතිප්‍රසන්න ව “මේ මට අභ්‍යන්තර ව ආත්මාරක්‍ෂාවට තරම් දෝ හෝ නො තරම් දෝ හෝ තරම් වීනම් අභ්‍යන්තරව රක්‍ෂා කෙරෙමි, නොතරම් වීනම් පිටතම තබා රක්‍ෂා කෙරෙමි”යි සිතා රාජමායමෙකින් ජීවකයන්ගේ තරම් පරීක්ෂා කරන්නාහු පන්සියක් බිසෝවරුන් සර්වාභරණයෙන් සරහා රජගෙයි පිළිවෙළින් සිටුවා බොහෝ දෙනා රැස්කොට ජීවකයන්ගේ ගුණ කියා “බිසෝවරුනි! මෙ තෙක් දවස් මට තෙපි හැමදෙන බොහෝ වෙහෙසුම් කළෝ වේ ද, දැන් ඒ ව්‍යාධි සන්හිඳී ගියේය, මපුතණුවන් ජීවකයන්ට තොප තොප පලන් සියලු පලඳනාවෙන් පුදව’”යි කීහ. එකෙණෙහි පන්සියක් බිසෝවරු තමන් තමන් පලන් දහස් දහස් ගණන් ඝන රන් පලඳනා ගළවා ජීවකයන් පෙරට රැස් කළහ. රුවන් පළඳනා ගොඩ ජීවකයන් උසටත් උස් විය; කළ මිල හා රුවන් කර්‍මාන්ත හැර ඝන රන් ම පස්ලක්ෂයක් පමණ විය. එවේලෙහි රජ්ජුරුවෝ ජීවකයන් මුහුණ බලා “පුත! තෙල රත්නාභරණ තොපට ම දින්මි, හැරගන්ව”යි කීහ.

එ වේලෙහි අභය රාජකුමාරයෝ තමනුත් රජ හෙයින් රජ්ජුරුවන්ගේ අදහස් දැන “මේ පලඳනා මපුතනුවෝ ජීවකයෝ නො ගත්හු නම් යහපතැ”යි සිත සිතා සිටියහ. රජුගේ අදහස් දන්නා අමාත්‍යයෝ ද ඔවුනො’වුන් මුහුණ බලා එසේම සිත සිතා සිටියහ. ජීවකයෝ ද තුමූ ඔවුන් හැමටත් වඩා තමන් මහ නුවණැ’ති හෙයින් ඒ කාරණය දැන “දෙවයන් වහන්ස! මේ සැපතින් මට කම් නැත, බිසෝවරුන් වහන්සේ අත කර ලූ පළඳනා මා වැනියන්ට සුදුසු නො වෙයි, නුඹ වහන්සේගෙන් කරුණා සම්පත් දෙවා වදාළ මැනැව”යි කියා නො ඉවසූහ. එ වේලෙහි රජ්ජුරුවෝ ද “උත්තම පුරුෂයෙකැ”යි ජීවකයන් කෙරේ ඉතා පැහැද එ පළඳනා නැවත බිසෝවරුන්ට ම පාවා දී ජීවකයන්ට හවුරුදුපතා ලක්‍ෂයක් නිමන නිමන නියම් ගමක් හා පවුරු පදනමින් සුරක්‍ෂිත වූ අඹ උයනක් හා සිය ගණන් පරිවාර ජනයන් හා, සත්බුමු මහපායක් ආදි වූ බොහෝ සම්පත් දී තමන් ඇතුළු වූ අන්තඃපුරයට හා බුදුන් ඇතුළු වූ මහා සංඝයාට පිළියම් කරන සේ ස්ථානාන්තර දී තමන්ට අභ්‍යන්තර කොට රක්‍ෂා කෙරෙති.