උතුරුකුරු දිවයින විස්තර කථාව

star_outline

එ දවස් බුදුන් වැළඳූ අන්තයෙහි ජීවකයෝ ද බුදුන් කෙරෙහි අතිප්‍රසන්න වූවාහු අනැඟි වූ සීවෙය්‍ය ශාටකයෙන් බුදුන් පිදූහ. ඒ කෙසේ වූ වස්ත්‍රයෙක් ද යත්; සිවි රට ස්ත්‍රී පුළුල් රල් තුනින් තුන බදා මකුළුහූ සේ ඉතා සූක්ෂ්ම වූ හූ කටිනාහ, ඒ හුයින් වියන ලද සළු කෙහෙල් ගොබ් සේ සියුම් පහස් ඇති ව මිනිස්ලොවින් ඉතා මාහැඟි වෙයි, එයි දු සීවෙය්‍ය ශාටක නම. මේ වනාහි එසේවූ සළුවෙකුත් නො වෙයි, උතුරුකුරු දිව කප්රුකින් උපන්නා වූ දිව සළුවෙක, සීවථිකා නම් අමු සොහොනෙන් උපන් සළුව හෙයින් සීවෙය්‍ය ශාටක නම් වි ය. එහි පිළිවෙළ කථාව මෙසේ දතයුතු:-

උතුරු කුරු දිවයින නම් අයමින් විතරින් අටදහසක් යොදුන් පමණ මහිමණ්ඩලයක් ඇත්තේය. සිසාරා සූවිසි දහසක් යොදුන් පමණ ඇත්තේ ය. ඒ සා මහත් භූමි මණ්ඩලයෙහි වළෙකුදු නැත, ගොඩෙකුදු නැත, පර්‍වතයෙකු දු නැත, ගසෙකු දු නැත, වැලෙකු දු නැත, දිමුතු මුතුතලාවක් බඳු වූ පරිශුද්ධ වූ වාලුකාතලයෙන් ම ගැවසී ගත්තේ ය, සකසා හැමැඳී බෝමළුවක් සේ දර්පන භිත්තියක් සේ, නිෂ්කලඞ්ක ව හැමදාම තිබෙයි.

එහි මධ්‍යයෙන් පැනනැඟි: කඳබොල පස් යොදුන්, පසළොස් යොදුන් වටඇති, පනස් යොදුන් උස කඳ ඇති, පනස් පනස් යොදුන් උස ශාඛා පසක් ඇති සියක් යොදුන් උස ඇති, තුන් සියක් යොදුන් වට ශාඛාමණ්ඩලය ඇති, එකි එකී ශාඛාවෙහි දහස් සුවහස් ශාඛා පඞ්ක්තීන් විරාජමාන ව ශ්‍රීමත් වූ මහා කල්පවෘක්‍ෂ රාජයා පිහිටියේ ය. එ රුක විළිකුන් පත් නම් දිව්‍යමය වූ, රන්වන් වූ වස්ත්‍ර සමූහයෝ ම ය, මුහුකළ පත් නීලවර්ණ වූ දිව්‍ය වස්ත්‍ර සමූහයෝ ම ය, ලපල්ලවයෝ නම් සුරක්ත වූ දිව්‍ය වස්ත්‍ර සමූහයෝ ම ය ඒ ඒ තන්හි දිලියෙන අනෙකවර්ණවූ ශ්වේතවස්ත්‍රාදි දිව්‍ය වස්ත්‍රයෝ මෙතෙකැයි ගණන් නැත. ඒ රුක අඞ්කුරයෝ නම් ප්‍රවාල ලොහිතඞ්කාදි දිව්‍ය රත්න සමූහයෝ ම ය, ඒ රුක ඵල නම් මුතුමැණික් ආදී වූ නවරුවන් ම ය, එ කප්රුකෙහි මැවී තිබෙන්නා වූ දිව්‍ය සම්පත් එක මුඛයෙකින් තබා සියක් දහසක් ලක්‍ෂයක් මුඛ මවා ගෙනත් කියා නිමවාගත නො හැක්කේ ම ය. එහි සත්ත්වයන් මේ ලොකයෙහි යම් සම්පතක් උව මැනැවැ යි සිතාලා කප්රුකට අත දිගු කළ කල්හි සිතූ සිත හා සමඟ හස්තයෙහි පෙනී යයි. යොදුන් දහසෙක සිට ත් කප්රුක දිසා බලා අත දිගු කළ කල්හි ප්‍රිය පුත්‍රයකු කරා අත දිගු කරන පෙම්බර මවක සේ, කප්රුකින් ශාඛාවෙක් ඔහු කරා දිව අතට සිතූ සැපතක් දීලා, නැවත ගොස් ස්වකීය ස්ථානයෙහි ම සිට ගන්ති.

ඒ සා ද්වීපය මුළුල්ලෙහි සත්ත්වයෝ පූජාමළුවකට රැස් ව ගහන ව සිටිනා මහ පිරිසක් සේ කප්රුක සිසාරා අතුරු නොදී ම වාස ය කෙරෙති. එ තෙක් සත්ත්වයන් අතුරෙන් කෘෂි වණික් ආදි වූ කර්‍මාන්ත කරන කෙනෙක්, බඩ නිසා දුක් ගන්නා කෙනෙක් නැත. ගෙයක් දොරක් නැඟීමෙක් පුත්‍රදාරාදි බන්‍ධු ව්‍යසනයක් විඳිනා කෙනෙකු දු නැත, ව්‍යාධියෙන් පෙළෙන කෙනෙකුදු නැත, ඔවුනොවුන් හා සංග්‍රාමයක් කරන කෙනෙකුදු නැත, ඔවුනොවුන් කෙරෙහි ආක්‍රොශ පරිභවයක් කරන කෙනෙකුදු නැත, ස්ත්‍රී පුරුෂයන්ගේ කලහව්‍යවහාරයෙකුදු නැත. තව ද දිව්‍යලොකයෙහි දෙවියන්ගේ කප්රුක් නිසා දෙවඟනන් නිසා කලහ ඇතියේ ම ය, මේ උතුරුකුරු දිව වනාහි එසේ වූ කලහයෙකු දු නැත, එසේ හෙයින් ඒ දිවයින දෙව්ලොවට ත් වඩනේම ය යි දතයුතු.

තව ද: ඒ ද්වීපයෙහි අනික් ආශ්චර්‍යයෙකු දු ඇත. ඒ කවර? යත්; ලෝකයෙහි සත්ත්‍වයන් සුව විඳිනේ ප්‍රාසාද නගර දොරටු අටලු උද්‍යාන පැන් පොකුණු ආදි වූ සම්පත් නිසා මය. ඒ ද්වීපයෙහි ප්‍රාසාදයෙකුත් නැත, පවුරෙක් අටල්ලෙක් නුවරෙක් අගලෙක් පුෂ්පාරාම ඵලාරාමයෙක් පුෂ්කරණියෙක් කිසිදෙනකුත් නැත. එසේ කල මනුෂ්‍යයෝ කෙසේ වූ සුව විඳිද් ද යත්? පොද බින්දුවකු ත් ආකාශයෙන් හී ඔවුන් නො තෙමන හෙයිනුත් සුවඳ මඳපවනක් මුත් සුළං ශීතපීඩාවක් තමා නැති හෙයිනුත් ගෙවලිනු දු ප්‍රයෝජන නැත. සතුරන් නැති හෙයින් පවුරු අටලු අගල පදනමින් ප්‍රයෝජන නැත. සිතු සිතූ මල් ඵලාදිය කප්රුකින් ම ලැබෙන හෙයින් උද්‍යානවලිනු දු ප්‍රයෝජන නැත. සිතු සිතූ විට උදක නිර්මිත වන හෙයින් පැන්පොකුණු වලිනු ද ප්‍රයෝජන නැත. වැළි නුවර නම් කවරේ ද යත්? ඒ ද්වීපය සිසාරා සිටියා වූ ස්වර්ණ සාගරය පවුරු නම, තව ද ඒ සා ද්වීපය මුළුල්ලෙහි අහස් වියනක් බැන්දා සේ, වලාපටලයෙක් සිටගෙන ගේපළයක් සේ, සත්ත්වයන්ට වැසි සුළං අවු පීඩා විය නො දෙයි, එසේ හෙයින් ඒ ද්වීපය එක මඟුල් ගෙයක් වැන්න, වැසි වස්නා කල ආකාශයෙහි යොදුනක් පමණ තැන වැසි වැස ගොස් පොදබින්දුවකු ත් ජනයන් ඇඟ නො හෙළා මුහුද ම වැගිරෙයි. මහීධුමයන් ආදි වූ හිමයෙනු දු වන පීඩාවෙක් නැත. සිංහ ව්‍යාඝ්‍ර නා පොළොං මැසි මදුරුවන් ආදී වූ සතුන්ගෙන් වන පීඩාවෙකු දු නැත.

තව ද: එක් ආශ්චර්‍ය්‍යයෙකු දු ඇත. එ තෙක් සත්ත්‍වසමූහයා අතුරෙන් මූ අසවලුන් පුත්‍රයහ. අසවලුන් නැඟණියහ, අසවලුන් මෑණියහ, අසවලුන් පියාණහ යනාදීන් වෙනස්වූ ව්‍යවහාරයෙකුදු නැත. මොහු මාගේ භාර්යාවයහ, මොහු මාගේ පුත්‍රයහ යි එක ප්‍රේමයකු දු නැත. හැමදෙන ම ඔවුනොවුනට මවුන් වැනියහ, පියන් වැනියහ, සහෝදරයන් වැනියහ, කල්‍යාණ මිත්‍රයන් වැනියහ, එසේ හෙයින් ඔවුනො’වුන් කෙරෙහි සම වූ මෛත්‍රි ය ඇතියහ. උපන් දවස් පටන් අඛණ්ඩකොට රක්ෂා කරන්නාවූ පන්සිල් ඇතියහ.

ඒ සා ද්වීපය මුළුල්ලෙහි ඒ ඒ දිග්හි අතුරු නැතිව පෙළ පෙළ දිදී දිව්‍යමය වූ යහන් සරහා තිබෙයි. දිව්‍යමයවූ ඛාද්‍යභොජ්‍ය මැවී තිබෙයි, දිව්‍යමය වූ වස්ත්‍රාභරණ මැවී තිබෙයි, දිව්‍යාභරණයෙන් සමලංකෘත වූ දෙවුලොව දෙවඟනන්ට අපහාස කරන්නාක් වැනි වූ උත්තම ස්ත්‍රී සිය දහස් ලක්‍ෂ ගණන් ඒ ඒ තැන්හි කැල බැඳ සිටිනාහු ය, යන්නාහු ය, එන්නාහු ය, කන්නාහු ය, බොන්නා හු ය, නටන්නා හු ය, ගී කියන්නා හු ය, වීණාදි නන් විසිතුරු ගායනා. කරන්නාහු ය. ඔවුනො’වුන් අත්වැල් බැඳ ඒ ඒ තැන්හි සිට පුසඹු කෙළිණා හු ය. එ කල දිව්‍යමය වූ වස්ත්‍රාභරණයෙන් සමලංකෘත වූ දිව්‍යභටයන් බඳු වූ පුරුෂයෝ ද, සිය දහස් ලක්‍ෂගණන් දෙන ඔවුනො’වුන් හා අත්වැල් බැඳ ඒ. ඒ දිග්හි දිවාරාත්‍රියෙහි උත්සව කෙළි කෙළ ම ඇවිදිනා හු ම ය.

මෙසේ ක්‍රීඩාවෙන් මත් ව ඇවිදිනා කල මළමුත්‍ර වහන ය කරම් හ යි සිතූ නම් ඔවුන්ගේ පින්බලයෙන් එ කෙණෙහි නිල්වලා පටලයෙක් දිව අවුදින් ඔහු සිසාරා වසා සිටගනිති. එ කෙණෙහි පොළොව දෙකක් ව පැළී වළෙක් පෙනී යෙයි. එහි මලමුත්‍ර වහන ය කළ කල නැවත එ වළ අන්තර්ධානව පස්පියුම් විලෙක් මැවී යෙයි, එහි උදක කෘත්‍ය ය කොට අභිප්‍රාය ඇත්තේ වී නම් බැස ජලස්නානය කොට කැමැති කැමැති මල් බිඳ පැලඳි කල්හි ඒ විල ද අන්තර්ධාන වෙයි, එ කල පොළොව පළා නැඟි නාගමානවකයන් සේ නිර්‍මල ව සිටිනාහු ය.

නැවත බත් අනුභව කරම්හ යි සිතූ කල්හි ඒ ඒ තන්හි සරහා තිබෙන දිව්‍යභොජනයන් අනුභව කරන්නාහු ය. කය සතපම් හ යි සිතූ කල්හි දුටු යම් දිවයහනකට නැඟී කය සතපන්නාහු ය. හිඳුම්හ යි සිතූ කල්හි දුටු යම් දිව්‍යාසනයෙක හිඳිනාහු ය. කාමසුවයක් අනුභව කරම්හ යි සිතූ කල්හි දුටු යම් ස්ත්‍රියක හා සමඟ කාමාස්වාදය විඳිනාහු ය. එහි වෙනසක් නම් රතිකාලයෙහි මවුන් දුටුකල මවුන් තනයෙන් ක්‍ෂීරධාරාවෝ නික්මෙති. එ කල ඒ සළකුණෙන් මොහු අප මෑණියහ යි හැඳින වැඳ පුදා ක්‍ෂමා කරවා යෙති. පියන් කරා දූන් පැමිණි කල්හි පියන්ගේ තනයෙනු දු ක්‍ෂීර ධාරාවෝ නික්මෙති. එ සලකුණෙන් අප දියණියහ යි හරිති.

ගර්භනී ස්ත්‍රීන් ක්‍රීඩාවෙන් යන කල්හි ගර්භ චලනය වී නම්, එ කෙණෙහි දිවයහන් කරා එළඹ ධර්‍මකරකයෙහි දියත්තක් සේ, අත තුබූ මැණිකක් යහනෙහි තබන්නා සේ කිසි ව්‍යසනයකුත් නැති ව දරුවන් වදා යහනෙහි ලා කිසි කුණපයකු ත් නැතිව තමන් යන ගමන් ගොස් පෙර සේම කෙළෙනාහු ම ය. පසුව අනික් ස්ත්‍රියක් එ දරුවන් නාවා යෙයි, අනිකක් අඳුන් ගා යෙයි. අනිකක් තෙල් ගා යෙයි, අනිකක් මල් පළඳවා යෙයි, අනිකක් සුවඳ විලෙවුන් ගල්වා යෙයි, අනිකක් එ දරුවන් නළවා යෙයි, අනිකක් වඩාගෙන සිඹ සනහා කිරි පොවා තනතුරෙහි නිඳි ගන්වා යෙයි, අනිකක් රෑව ගියේ නම් එ දරුවන් බඩ දී නළව නළවා සැතපෙන්නීය. මෙසේ එක දරුවන් කෙරෙහි හැම ස්ත්‍රී ම සම මෙත් ඇති ව මාතෘ ධර්‍මයෙන් පෝෂ්‍ය ය කරන හෙයින් වැදූ මෑණියෝ - පියාණෝ තමන් වැදූ දරුවන් බව ත් නො දන්නාහ. දරුවෝ ද වැදු මවුන් පියන් කවුරුන් බවත් නොදන්නාහ. මෙසේ කියා නිමවා ගත නොහැකි දිව්‍යමය වූ සම්පත් ම අනුභව කරන්නාහ. ඔවුනොවුන් කෙරෙහි සම ව ඇති මෛත්‍රී බලයෙන් හා අඛණ්ඩ වූ පඤ්චශීලයාගේ බලයෙන් හා, ඒ උතුරුකුරුදිව උපන්නාවූ ස්ත්‍රී පුරුෂයෝ හැම දෙන ම, හැම කාලයෙහි ම, අඩුවැඩි නැති ව ජරා විලි පිලි නැති ව, රෝග ව්‍යසන නැති ව, දහසක් හවුරුදු ම ජීවත් වන්නා හ.

දහසක් හවුරුද්දෙන් ස්ත්‍රී පුරුෂයන් කාළක්‍රියා කළ කල ගිනි දර ය යි යන ව්‍යවහාර ඒ ද්වීපයෙහි නැති හෙයින් මිනී දැවීමු දු නැත. වැළි කුමක් කෙරෙද්ද යත්? මළවුන් සියලඟ නො පෙනෙන සේ දිව්‍යාභරණයෙන් සරහා කප්රුකකින් උපන් දිවසළු හඳවා, දිවසළුවෙකින් වසා, රන්සිවිගෙන් මහපෙළහරින් ගෙන ගොස් අමුසොහොනෙහි තබා එති, එ කල ඉතා මහත්වූ ඇතුන් පවා ගසා ගෙන පලා යන තරම් ඇත්ගිජු ලිහිණියෝ ය යි යන හිමාලයෙහි වසන පක්ෂිජාතියෙක් ඒ මිනී ගෙනගොස් මහමුහුදු මැද යුගන්ධරාදි පර්‍වත මුදුන්හි ද, හිමාලය පර්‍වතයෙහි ද, ඒ ඒ තැන්හි හිඳ මස් කා ඇටසැකිලි ඒ ඒ තන්හි හෙළන්නාහු ය.