තුන්වන වෙදකම

star_outline

තව ද එම රජගහා නුවර අසූ කෙළක් ධන ඇති සිටාණ කෙනකුන්ට ද ශීර්ෂාබාධයක් ඇති ව ඉස්මුල් සැත් ලලා ලියා හරනා සේ මහත් වූ වේදනා ඉපැද මරණප්‍රාප්ත වූහ. ආචාරිවරයෝ දෙදෙනෙක් අවුත් සිටාණන් බලා නිදන් දැක ව්‍යාධි ය අසාධ්‍ය නියාවත් සිටාණන් නො රැකෙන නියාව ත් දැක එක් කෙනෙක් “සිටාණෝ පස්දවසෙකින් මියෙති, පිළියමින් කම් නැතැ”යි කියා ගියහ. එක්කෙනෙක් “සත් දවසෙකින් මියෙති, මෙ ලොවට පිළියම් නො කරවා පරලොවට ප්‍රතිකාරයක් කොට ගන්ව”යි කියා ගියහ. එ පවත් බිම්බිසාර රජ්ජුරුවෝ අසා ඉතා මහත් වූ කම්පා ඇති ව “මාගේ නුවර නැඟූ ධ්වජයක් සේ ඉතා ප්‍රසිද්ධ වූ සිටාණෝ මළාහු නම් මට මහත් වූ හානි වන්නේය”යි සිතා ජීවකයන් කැඳවා ‘‘පුත ජවකයෙනි! මාගේ අසවල් සිටාණන් රැක දීලව”යි කියා ජීවකයන් යවූහ.

එ කල ජීවකයෝ ගොස් සිටාණන්ගේ අවස්ථා දැක පෙර ආචාරිවරුන් දෙදෙනා කියා ගිය පවතුත් අසා තුමූ ද පරීක්‍ෂා කොට දිවසින් දුටුවා සේ දැක ‘‘ඔවුන් කීයේ සැබැව, නුඹ ඉස මත්‍ථලුඞ්ගභෝජක නම් පණුවෝ දෙදෙනෙක් අටගත්හ, එයින් එකෙක් මහත, එකෙක් කුඩා වුව, මහත් පණු නුඹ හිස්මුල් පස් දවසෙකින් කා නිමයි, කුඩා පණු සත්දවසෙකින් කා නිමයි, ඔහු දෙදෙන ම තමන් තමන්ගේ ශාස්ත්‍රයෙන් පණුවන් දෙදෙනා වෙන වෙන ම දුටහ. මහ පණුවා දුටු ආචාරි කුඩා පණුවා නුදුටුවහ; කුඩා පණුවා දුටු ආචාරි මහ පණුවා නුදුටුවහ, මම දෙදෙනාම දිටිමි. එසේ හෙයින් සත් දවසත් නො වෙයි, පස් දවසත් නො වෙයි, තුන් දවසක් ඇතුළත මරණ වෙයි. මේ ලෝකයෙහි මා විනා නුඹ දිවි රැක දී දිලියහෙන අන් සතෙක් නැතැ”යි කීහ.

එ බසට සිටාණෝ නැවත ද මරණ භයින් වෙවුලා “පුතණුවෙනි! මාගේ දිවි රැකදීලුයේ වී නම් මාගේ මේ සියලු අසූ කෙළක් පමණ සිටු සැපතත් දෙමි, මම ද නුඹට ම ගැති වෙමි” යි කීහ. එ වේලෙහි ජීවකයෝ “එසේ නො වදාළ මනැවැ, මම නුඹවහන්සේට ගැති නොවෙම්දැ”යි කියා භය නො ගත මැනැව, මා කීවකට ලැබුණේ නම් නුඹ දිවි රැක දී ලමි” යි කීහ. එ වේලෙහි සිටාණෝ සන්තෝෂ ව “නුඹ කී යම් ම දෙයකට ලැබෙමි”යි කීහ. ජීවකයෝ සිතන්නාහු “මුන්ට ගරුකොට කියා ලඝු කොට ගොඩ නඟමි”යි සිතා “මා කී දෙයකට ලැබෙන සේක් වී නම් රැකලමි, කෙසේද? යත්; උඩුතැල්ලා ම සත් මසක් මුළුල්ලෙහි නො සෙල්වී ම වැද හොත මැනැව, එසේ ම දකුණැළයෙන් සත් මසක් වැද හොත මැනැව, වමැළයෙනු දු සත් මසක් නො සෙල්වී ම හොත මැනැව, එසේ පිළිවන් දැ”යි විචාළහ. සිටාණෝ ජීවිතාසාවෙන් නො කළ හැකි දෙයක් නියාව සිහි එළවාගත නොහී පිළිවනැයි ප්‍රතිඥා දුන්හ. එවේලෙහි ජීවකයෝ සිටාණන් වහන්ස! වෙදවරු නම් නිග්‍රහ කොට දරුවන්ට දුක් දී හික්මවා මතු සුව දෙන්නා වූ මවුන් පියන් ගුරුන් වැනියහ, එසේ හෙයින් නුඹට ද කිසියම් පීඩාවක් කොට මුත් ගොඩනඟා ලිය නො හැක්කැ මා කරන යම් නිග්‍රහයෙක් ඇත්නම් මා කෙරෙහි ද්වේෂයක් නූඋපදවමි යි කියා ත්, පවු නැතැ යි කියා ත්, වර දුන මැනැවැ”යි කීහ. සිටාණෝ “නුඹ කරන යම්ම දෙයකට ද්වේෂයක් නො කෙරෙමි යි, පවු නැතැ”යි වරදුන්හ.

එ වේලෙහි ජීවකයෝ සිටාණන් ඇඳෙක උඩුබලා වැදහොවා සියලඟ නො සැලෙන සේ ඇඳ හා එක් කොට පටපිළියෙන් වෙළා සිටාණන් ඉස්දොර වැද හිඳ සූක්ෂ්ම වූ සැතක් ගෙන සිටාණන් ඉස්බොල්ල පළා තුන්සන්ධිය වෙන්කොට හිස්මුල් කන පණුවන් දෙදෙනා සැත්තුඩින් ගෙන එළියේ ලූහ; එළියේ ලා “මේ සත්දවසින් කා මරණ පණු ය, මේ පස් දවසින් කා මරණ පණුය”යි කියා පෑහ. ඒ විස්මය දුටු මහ පිරිස එකවිට ම සාධුකාර දුන්හ. එ වේලෙහි ජීවකයෝ සිටාණන් හිස්බොල්ල පෙර සේ ම සන්‍ධිකොට ලොම කුත් අඩුවැඩි නො කොට තබා බැහැනි ගෙන ඖෂධ ගල්වා සිටාණන් සත්දවසක් එම ශය්‍යාවෙන් සතපා, දකුණැළයෙන් සත්දවසක් සතපා, වමැළයෙන් සත්දවසක් සතපා පෙර එක්විසි මසකට නියම කරවා ගත් පිළියෙම එක්විසි දවසින් ගොඩනඟා සිටාණන් හිස්මුල් අටගන්වා පෑළූ තෙන නොපෙනෙන සේ වණය සුව කළහ.

එ කල සිටාණෝ අරොගි වූවාහු ජීවකයන් කෙරෙහි පැහැද “සියලු සිටු සැපත හා මාත් නුඹට පාවා ගන්නැ”යි කීහ. ජීවකයෝ “එසේ වූ බස් නො වදාළ මැනැව, මෙ තැන් පටන් නුඹවහන්සේද මාගේ පියාණන් වහන්සේමය”යි කියා සිටාණන් හා නෑ ව “මා සන්තක වූ මේ සියලු සැපත නුඹවහන්සේට ම දින්මි”යි සිටාණන්ට ම හැර රජ්ජුරුවන්ට ලක්‍ෂයෙක තමන්ට ලක්‍ෂයෙකැයි දෙලක්‍ෂයක් සම්පත් හා ගව මහිෂාදි කැමැති පමණ සැපත් ගෙන ගොස් නුවර වැද රජ්ජුරුවන්ට ගෙන ගිය ලක්‍ෂයක පඬුරු කොට දී, තුමූ සෙසු සම්පත් අනුභව කොට එම නුවර වෙසෙති. එ තැන් පටන් ජීවකයෝ මුළු දඹදිව නැඟූ ධජයක් සේ ඉතා ප්‍රසිද්ධ වූහ.