අඹවනය බුදුන්ට පිදීම

star_outline

එ තැන් පටන් ජීවකයෝ බුදුන්කෙරේ අතිප්‍රසන්න වූවාහු අචල වූ ශ්‍රද්ධාවෙහි පිහිටියාහු “මෙතැන් පටන් මාගේ බුදුන් දවස දවස තුන්වාරයක් දුටමැනැව, මාගේ වාසයට වෙළුවනාරාමය ඉතාදුර, මාගේ අඹවන ය ඉතා ළඟ ය, රම්‍යය, සිත්කලුය, එයි දු බුදුන්ට පිළිගන්වමි” යි සිතා උයන සිසාරා අටළොස්රියන් මහ පවුරෙන් සුරක්‍ෂිත කොට වාසල් මණ්ඩප පැන්පොකුණු රාත්‍රිස්ථාන දිවාස්ථාන චංක්‍රමණස්ථාන ගන්‍ධකුටි ධර්මශාලාදි සියලු කර්මාන්තයෙන් දිව්‍යොද්‍යානයක් සේ සරහා බිම්සර රජ්ජුරුවන් ආදි වූ එ නුවර අටළොස් කෙළක් මනුෂ්‍යයන් හැමදෙනා හා සමඟ මහත් වූ පූජාකොට බුදුන් ප්‍රධානවූ එක්දහස් දෙසිය පනස් මහ රහතන්ට අඹ උයන පිළිගන්වා සත්දවසක් මුළුල්ලෙහි අප්‍රමාණ වූ පූජා කොට පින් රැස් කරන්නාහු තමන්ගේ ධන පමණින් ම බුදුන් පිදූහ.

මෙසේ මේ එක කථාවෙහි දක්වන ලද අසාධාරණ විරෙචන ප්‍රතිකාර පූජා ය, අටළොස් කෙළක් සත්ත්‍වයන් තමන් තමන්ගේ භෝග පමණින් එ දවස් කළ ආමිශදාන පූජා ය, බිම්බිසාර රජහු කළ අග්‍රභෝජන පූජා ය, සෝණ සිටාණන්ගෙන් ලද සුගන්‍ධ ශාලි භොජන පූජාය, එම සිටාණන් අසූදහසක් පුරුෂයන් හා සමඟ සෝවාන් වූ දවස් පටන් සිටුසම්පත්තීන් කළ පූජා ය, ඔවුන් ම සසුන් වැද මහණව අමාමහ නිවන් දැක්මෙන් කළාවූ ජීවිතාන්ත ප්‍රතිපත්ති පූජා ය, ජීවකයන් අනැඟි වූ ශාටක යුග්මයෙන් කළ පූජා ය, ඔවුන් ම සෝවාන් ව දිවිපමණින් කළ සම්‍යක් ප්‍රතිපත්ති පූජා ය, ඔවුන් ම තමන් තමන්ගේ භෝග පමණින් බුදුන් පුදා අටළොස් කෙළක් මනුෂ්‍යයන් හා සමඟ සත් දවසක් ප්‍රබන්‍ධයෙන් කළා වූ ජීවකාරාම පූජා ය යි මෙසේ සත්ත්වයන් තමන් තමන්ගේ භෝග පමණින් කරනලද අපමණ වූ පූජා ලත් හෙයිනු ත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ ම ස්වාමිදරු වූ, මට ම දෙවි වූ, බඹ වූ, අමා වූ, මට ම ශරණ වූ, මා ම නිසා ලෝකයෙහි උපන්නාක් වැනි වූ, මාගේ බුදුරජාණෝ අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදී:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොක නාථො,

අත්‍ථානු‘රූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං-යි.

මේ පූජාවලියෙහි අප බුදුන් ජීවකයන්ගෙන් ලද

ජීවකාරාම පූජා කථා නම්වූ අට විසි වන පරිච්ඡෙදය නිමි.