එ කල කර්‍මාන්විත වූ ව්‍යාධියක් හැර අවශේෂ වූ ව්‍යාධි, එක ආලෙප මාත්‍රයෙකින් අන්තර්ධාන වන තරම් දිව්‍යමය වූ ඖෂධ උගන්වන්නා වූ ශක්‍රයෝ ජීවකයන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි වෛද්‍යශාස්ත්‍රය උගන්වා නිම වූහ. ශක්‍රයන්ගේ ආනුභාවයෙන් උගන්නා ශිල්පය කල් පමාකොට ලා ගියේ යත්ද? එසේ නැති; අනුන් සොළොස් හවුරුද්දෙකින් උගන්වන්නා වූ ශිල්පයට ශක්‍රයෝ තමන්ගේ ආනුභාවයෙන් ජීවකයන් සත් හවුරුද්දෙකින් ඉගැන්වූහ.
එ කල ජීවකයෝ වෛද්‍යය තමන්ට නිමි සේ දැන ආචාරීන් කරා ගොස් “ස්වාමීනි! නුඹගේ මේ ශිල්පයෙහි නිමාවෙක් කවර කලෙක වේ දැ'යි විචාළහ. ආචාරි ”මොහුගේ ආනුභාවයෙන් ජීවකයන් ශක්ති පරීක්ෂා කෙරෙමි’යි සිතා “එසේ වී නම් පුත තෙපි මේ නුවර සතර වාසලින් පිටත් වලා, සතර දවසක් සතර යොදනක් තැන් වෙන වෙන ම ඇවිද ඖෂධයකට නො ගත හැකි මුලක් මලක් පොත්තක් අත්තක් ඵලයක් පතක් සොයා ගෙන අවුත් මට පෑ බලගැ”යි කීහ. එ කල ජීවකයෝ යහපතැයි ගිවිස සතර දවසක් දිවාභාගය මුළුල්ලෙහි සොළොස් ගවු තැන ඇවිද ඖෂධයකට නො තරම් වූ කිසි යම් ද්‍රව්‍යයක් නො දැක ආචාරීන් කරා අවුත් “ස්වාමීනි! මේ මිනිස්ලොව නම් පූර්වයෙහි ඖෂධයෙන් ම මවනලද වන, ඖෂධ ඝටිකාවක් වැන්න, ඖෂධයකට නො ගත හැකි වස්තුවක් නො ලද්දෙමි” යි කීහ. එ වේලෙහි ආචාරි සමාධිව “පුත! තොපට වෛද්‍යය අද පටන් නිමියේ ය, මේ මුළු පොළොව තොප තරම් වෛද්‍යාචාරි කෙනෙක් නැත, මම තොපට ආචාරිකමට අයෝග්‍යයෙමි, තෙපි මට ආචාරි වව’යි කියා ජීවකයන් සිඹ සනහා ගමට යව යි සමු දුන්හ. එ වේලෙහි ශක්‍රයා ද මුඛයෙන් පහ වී ය.
එ වේලෙහි ආචාරි සිතන්නාහු “මේ කුමර මහාපුණ්‍යවන්තයෙක, මා ගුරුකම් කළා යි යන නාමමාත්‍රයක්වත් මුත් මේ තෙමේ දිව්‍ය ගුරුන් ඇතියේය, දිව්‍යමය වූ ඖෂධ දතුයේය, මෝහට මාගෙන් උපකරණ දී, මිනිසුන් දී, සියනුවරට යැවීම් නම් මොහුගේ ශිල්පානුභාවය නොපෙනෙ’යි සිතා එක් දෙ දවසකට මාගොප මාර්ගෝපකරණයක් ලාලා සමුදී යවූහ. එ කල ජීවකයෝ ගුරුන් වැඳ සමුගෙන සිය නුවරට යන්නාහු “මඟට බතක් සාලක් උව මැනැවැ” සිතා අතුරුමඟ සාකේත නම් නුවරට පැමිණියහ.