තව ද බරණැස අනික් සිටු පුත්‍රයාණ කෙනකුනට ද අන්තරගණ්ඨි නම් ආබාධයෙක් ඇති විය. කෙසේ වූ ආබාධයෙක් ද යත්? ඒ සිටාණන් තරුණ කල කරණම් පැන ක්‍රීඩාවක් කරණ දවසෙක බඩවැල උඩට නැඟී මධ්‍යයෙහිදී ගැටගැසී ගිය. ඒ කාරණයෙන් සිටාණන් අනුභවකළ යම්දෙයක් බඩවැලින් මල මාර්‍ගයට යා නො හැකි පාකයට ත් නො යෙයි, මලමූත්‍රයෙක් තමාම නැත, එක් වේලෙක අනුභව කළ දෙය එක් වේලෙක නඟා පියා ජීවිත ය රක්ෂා කෙරෙති. එ කල සිටාණෝ ශුෂ්ක කාෂ්ඨයක් සේ වියලී දවසින් දවස බැහැර පඬුවන් ව ගියහ, තෙල්පතක් වැළැන්දා සේ සර්වාඞ්ගයෙහි ධමනි පෙනෙන්නට පටන්ගත. එ පවත් අසා දඹදිව බොහෝ වෙදවරු අවුත් අවස්ථා නො දැන විස්මය ප්‍රතිකාර කොට සමනයක් කොටගත නොහී යන්නාහු ම ය. සිටාණන්ගේ ගෙට අපි අපි ය යි වාසි කිය කියා මුළු බැඳ එන වෛද්‍යාචාරීන් විසින් හා පිළියම් කොට සමනය කොට ගතනොහී “අපට බැරිය, අපට බැරිය”යි කියා ආපස්සේ යන වෙදවරුන් විසින් හා උන්ගේ වාසල් දොර අතුරු නැතියේය.
ඒ සිටාණන් පියාණෝ, බාරණසෙය්‍යක නම් සිටාණෝ ජීවකයන්ගේ පවත් අසා රජගහ නුවරට ගොස් බිම්බිසාර රජ්ජුරුවන් දැක නො එක් සතුටු පඬුරු දී රජහු සන්තෝෂ කරවා පුතණුවන්ගේ ව්‍යාධියෙහි පවත් කියා ජීවකයන් ඉල්වූහ. එ වේලෙහි රජ්ජුරුවෝ ද ජීවකයන් කැඳවා සිටාණන් ආ පවත් කියා “සිටාණන් හා කැටිව ගොස් උන් පුතණුවන් බලා එව”යි කියා සිටාණන් හා කැටිව ම ජීවකයන් යවූහ. ජීවකයෝ ද බරණැස් නුවර ගොස් ව්‍යාධිගත වූ සිටාණන් දැක ඒ ව්‍යාධියෙහි ද නිදන් බලා දිවසින් දුටුවාසේ ම දැක “සිටාණන් වහන්ස! නුඹවහන්සේගේ බඩ ගැට ගෙන තිබෙන ගුණයෙක් ඇද්දැ” යි විචාළහ; එ බඳු වූ ගුණයෙක් ඇතැ යි කීහ. ක්‍රීඩාවක් කළ දවසෙක සිට ඒ ගුණ ය ඇති වී දැ යි විචාළහ.
එසේම යයි කීහ; මල-මූත්‍ර නැද්දැ යි විචාළහ; නැතැ යි කීහ; අධොවාත නැද්දැ යි විචාළහ; නැතැ යි කීහ, එසේ වී නම් නුඹ බඩ අන්තරගණ්ඨි නම් ආබාධයෙක, නුඹ බඩවැල මැදින් ගැටගැසීගියේය, ඒ සන්හිඳුවා දීලමි, භය නො කළ මැනැවැ යි අස්වසාලා සිටු දේවීන් පමණක් සිටුවා සෙසු ජනයන් පිටත්කොට අගුළු ගෙන සිටාණන් යටිමාලෙහි මැද, කප නො සැලෙන සේ බැඳ සිටුවා සිටාණන් මුහුණ වසා පටපිළියක් බැඳ, සූක්‍ෂ්ම වූ සැතක් ගෙන සිටාණන්ට නොදැනෙන සේ බඩෙහි මතු සම පළා බඩවැල පිටත්කොට සිටුදේවීන්ට ගැට ගැසීගිය තැන් පෑ ගැට උනා හැර, නැවත බඩවැල ඇතුළෙහි ලා බැහැනි ගෙන ඖෂධ ගල්වා සිටාණන් ස්තම්භයෙන් උනා යානෙහි සතපා රස උළුකැන් පොවා තුන්දවසින් ගොඩනැඟූහ. සිටාණෝද එ තැන් පටන් පෙර සේ ම නිරෝගි වූවාහු. ජීවකයන් හා යහළුව උන් කෙරෙහි මහත් වූ පෙම් බැඳ සොළොස් දහසක් මසුරන් හා අසුන් යෙදූ රථ දැසි දස් ගව මහිෂාදි බොහෝ සම්පත් දී සනුමානයෙන් යවූහ. ජීවකයෝ ද මහ පෙරහරින් රජගහා නුවරට වැද රජ්ජුරුවන් දැක තමන් කළ පිළියම් කීහ. රජ්ජුරුවෝ ද ඉතා විස්මය වූවාහු ජීවකයන්ට නො එක් සම්පත් දුන්හ.
එ තැන් පටන් ජීවකයන්ගේ පවත් ඇසු ඇසූ දඹදිව බොහෝ වූ ශ්‍රීවන්තයෝ “එසේ එසේ වූ ව්‍යාධියෙක් අපටද වී නමුත් උන් හා විශ්වාස ව ඉඳුම්හ” යි නො එක් සතුටු පඬුරු ගෙන ජීවකයන් කරා එන ශ්‍රීවන්තයෝ මෙ තෙකැ යි පමණ නැත. තමන් කරා ගෙන්වා ගත නොහී ජීවකයන් කරා එන ව්‍යාධිගත සත්ත්වයන්ගෙන් උන්ගේ දොර අතුරු නැතියේ ය. එන කල මහහඬින් හඬ හඬා නො එක් ව්‍යාධියෙන් පෙළි පෙළී අවුත් ජීවකයන් දැක දිව්‍ය ඖෂධ ලදින් අමාදිය ලදුවන්සේ ව්‍යාධි අන්තර්ධානව නිරෝගි ශරීර ලදින් ජීවකයන්ට සාධුකාර දිදී සන්තෝෂයෙන් මත් ව තමන් තමන්ගේ සියනුවරට යන්නාවූ සත්ත්‍වයන්ගෙනුදු එ නුවර අතුරු නැතියේ ය. බුදුන්ට පිළියම් කෙරෙමි යි කප්ලක්‍ෂයක් පැරුම්පුරා ආ කෘතාධිකාර පුරුෂයාණන් හෙයිනුත් බුදුන් නිසා ම ඔවුන් ඇති වූ හෙයිනුත්, මේ සා මහත් වූ සත්ත්‍ව ශාන්තියකුදු මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් නිසා ම ලොවට පහළ වී ය. එසේ හෙයින් මෙයිදු මාගේ බුදුන්ගේ ම පෙළහරෙක් ම ය.