එ වේලෙහි ආයුෂ්මත් වූ මුගලන් මහ තෙරුන් වහන්සේ “බුද්ධකාය නම් ඉතා සුඛුමාලය. සමතිස් විරෙචනයෙකින් අති පිරිසුදු වූ කයට රූක්‍ෂ වූ භොජනයෙක් සුදුසු නො වන්නේ ය. මෙ තෙක් දෙනාගේ භෝජනයෙන් මාගේ බුදුන්ට තරම් වූ භෝජනයෙක් නැත. අප වැනියන් නිවන් අමා වැළඳවූ බුදුන්ට කෙසේවූ භෝජනයක් ගෙනෙම්දෝ හෝ”යි දිවසින් බලා “මුළු දඹදිවු තෙලෙහි රජ සිටු බමුණු වෙළෙඳ ශ්‍රීවන්ත වූ චාතුර්‍වර්ණයන් අතුරෙන් කවරක්හු අනුභව කරන භෝජනයෙක් උතුම් දෝ හෝ”යි දිවසින් බලා එම රජගහා නුවරට නුදුරු තැන චම්පා නම් නුවර කොළිවීස නම් වූ සෝණ සිටාණන් අනුභව කරන්නා වූ සුවඳ හැල්සාලේ බත ඉතාම බුදුන්ට සුදුසු යයි දුටු සේක. කෙසේ වූ සුවඳ බතෙක් ද යත්?
ඒ සෝණ සිටාණෝ නම් ශ්‍රීවන්ත කෙනෙක, පවුරු අටලු නැති ව වීථි වාසල් සාදා තිබෙන දහස්ගණන් ගෙවල් ඇති මහගම් නියම් ගම් නම, එසේ වූ අසූදහසක් නියම් ගමට නායකයහ. ඒ සෝණ සිටාණෝ උපන් තැන් පටන් බිම පය නොගෑ කෙනෙක. කාරණ කිම? යත්;
ඒ සිටාණන්ගේ ඉඟුල් පතක් වැනිවූ සුරක්ත වූ යටිපත්ලෙහි අතිනීල වූ රොමරාජි පෙළ පෙළ දී දක්‍ෂිණාවෘත්තව නැමී හිඟුල් පතෙක අඳුන් කැටෙකින් සිතියම් කළා සේ, රත්මලස්නෙක දිය මෙරලිය මල් පිදුවා සේ, රොමරාජීන් විරාජමාන විය. මවුපියෝ ඒ සිටාණන්ගේ මේ ආශ්චර්‍ය්‍ය ය දැක පය බිම නො ගෑදී මහ පෙරහරින් වැඩුහ. දඹදිවු වාසි සත්ත්‍වයෝ එපවත් අසා තමන් තමන් අතුරෙහි විස්මයපත් ව සිංහල ද්වීපවාසී සත්ත්‍වයන් සමනොල දක්නට යන්නාසේ කැල බැඳ ගොස් සිටුපුත්‍රයාණන්ගේ යටිපත්ලෙහි ලොම් බලා ස්තුති කොට කොට යන්නාහු ය. සිටාණන් කොලු කෙළි කෙළිනා සමයෙහි “කිසි අවකාශයෙක පය බිම ගා පියති” යි මවුපියෝ ඇතුළු අඞ්ගණයෙහි ඒ ඒ තැන්හි බිම නො පෙනෙන සේ අනැඟි වූ පළසින් බුමුතුරුණු ලැවූහ. තව ද: සිටාණන්ගේ සුවහස් ගණන් පරිවාර ජනයෝ ඇතියහ; සෙසු සිටුවරුන් සේ උන්ගේ ගෙයි පහරක් ගැසීමෙක් වේව යි, වධයක් කිරීමෙක් වේව යි, දඟගෙයි ලීමෙක් වේව යි, නිග්‍රහ වසයෙන් එසේවූ ව්‍යවහාරයෙක් නැත. කෙසේ ජනයන් හික්මවා ගනිද්ද? යත්;
සිටාණෝ පරිවාර ජනයන්ට උදහස් වෙත් නම් “දැන්දක් පය බිමගා පියමි’”යි එක් පයක් බිමට දිගුකෙරෙති. එ කෙණෙහි සිටාණන්ගේ පින්බලයෙන් සියලු ජනයෝ වෙවුලා පැන නැඟෙති, හැමදෙනාට සියලඟ සැත්කම් කරන්නා සේ, හිස කුළු හෙළන්නා සේ, නොඑක් වධ කරන්නා සේ, වැටහෙයි. එ කල ජනයෝ “හිමි එතෙකින් පහව ගියම්හ, අපට වධ නො කැරවුව මැනැව”යි වැඳගෙන හොවිති. එ වේලෙහි සිටාණෝ බොහෝ දෙනාගේ යාච්ඤාවෙන් පය ඇකයට හයා ගනිති. එ වේලෙහි සිට හැම දෙනාට ම උපන් පීඩා නැති ව භය සන්හිඳෙයි, එසේ හෙයින් ජනයෝ ශික්ෂිත ව ම කර්‍මාන්තත් කෙරෙති, පක්‍ෂපාතත් වෙති. මෙසේ වූ තෙජසක් හා සම්පතක් කෙසේ වූ පින් බලයෙකින් ලදුවාහු ද යත්?
ඒ සිටාණෝ ගිය දවස වෙහෙරක් කරවා පසේ බුදු කෙනකුන් වහන්සේ වස් වස්වා නිරන්තරයෙන් උපස්ථාන කරන්නාහු දවසෙක පසේබුදුන් සක්මන්ගෙයි සක්මන් කරන වේලෙහි පයට පිහිඩා මහත් සේ දැක අනගි වූ පීඩාවක් සක්මන් ගෙයි බුමුතුරුණු කොට අතුට ඒ මතුයෙහි සක්මන් කැරවූහ. මෙසේ වූ පින් බලයෙකින්, මේ ජාතියෙහි මේ සා මහත් සිටු සැපතක් ලදින් පය බිම ගා නො පියන තරම් යටිපත්ලෙහි ලොම් නැඟෙන තරම් මේ සා මහත් තේජස් ඇතිවන තරම් ශ්‍රීවන්ත වූ කුලයෙක උපන්නාහු ය යි දත යුතු. වදාළේ මැනෝ:-
නත්‍ථි චිත්තෙ පසන්නම්හි - අප්පිකා නාම දක්ඛිණා,
තථාගතෙ වා සම්බුද්ධෙ අථවා - තස්ස සාවකෙ-යි.
තව ද: එම සිටාණන් සුවඳබත් කවන පරිදි කෙසේ ද යත්? සොළොස් කීරියක් මානයෙහි කුඹුරු ලියදි අතුල්තල සේ තනා සිසාරා පවුරු බැඳ ආකාශයෙහි ලෝ දැලින් වසා කුඹුරු දරාඬයෙහි සිය දහස් ලක්‍ෂ ගණන් මහසැළි පිළිවෙළින් තනා කස්තුරි ජබාදු, උරුලෑ තෙල් කපුරු සඳුන් ලමඟ කළුවැල් දෙවුදුරු යනාදි නො එක් සුවඳ පැනින් සැළවල් පුර පුරා ගේ වැඩූ දවස් පටන් සෙසු පැනක් කුඹුරට වැද්ද නො දී සුවඳ දියෙන් ම මඩ කලල් කොට වපුට දිය බැඳ ගොයම් පැසවන්නාහු ය. ඒ කෙත ගොයම් ගසුත් සුවඳය, කරලු ත් සුවඳ ය, කෙත සිසාරා ඇවිද අඩු වැඩි බලා පිටත් වූ ගොවින් ඇඟ පවා සුවඳ ගත්ති. ගොයම් පැසුණු කල සෙසු සැටියෙහි ඈසව යෙති. සිටාණන්ගේ සියලු පරිවාර ජනයෝ එක විට ම කෙතට වැද ලා කරල් නියෙන් සිඳ එකි එකී අසුරක් බැගින් සොළොස් කිරියෙහි කරල් සිඳගෙන යෙති. එ කල සඳුන් දණ්ඩෙන් ගුළක් කරවා සඳුන් පෝරු අතුට ගුළුපත්ලෙහි නන් ජාතියෙහි සුවඳබඩු රියනක් උස අතුට එ මතුයෙහි කරල් පෙළක, එ මතුයෙහි සුවඳ පෙළකැ යි යනාදි වසයෙන් ගුළවසල දක්වා පුරා ගුළෙහි අගුළු ගෙන හස් ඔබා තුන් හවුරුද්දක් නොසොල්වා බා වී කරල් සුවඳ කෑ කල ගුළෙහි දොර හරණාහු ය. එ කෙණෙහි එ ගුළෙහි දොර හැරී ම හා සමඟ ඇතුළෙන් නිකුත් සුවඳ මුළු නුවර එක සුවඳ පිඩක් සේ කෙරෙයි.
එ කල නුවර වාසී සත්ත්‍වයෝ මේ සුවඳ අසා “සෝණ සිටාණන්ගේ සුවඳ කරල් ගුළ අද දොර හළ වන්නැ”යි ගෙයි ගෙයි හිඳ කියති. එ දවස් පටන් දවසින් දවස සිටාණන්ගේ අනුභවයට විවර සුවඳ කරල් ගෙන සඳුන් පුවරු එබූ බිම් වළෙක දී මැඩ සඳුන් මොහොලින් පෑර සඳුන් වනෙක දී පැස කුඩු නො හැර දිමුතු මුතු සේ සහල් කෙරෙති. එකල ධූතියෝ දවසේ හා කුඩු ගෙන සළදායෙහි ලා අඹරා සියලඟ ගල්වා උත්සව කෙළි කෙළිති. එසේ පැසගත් සුන්සාල් අවුළා ගෙන සුවඳ පැනින් සත් අට වාරයක් දොවුන් ගෙන නවමු භාජනයෙක බහා උදුන නඟා සුවඳ දරින් ඒ බත් පිසන්නාහු ය. එ තරම් සුගන්‍ධමය වූ සූප ව්‍යඤ්ජනයෙන් සිටාණන් බත් කවන්නාහුය. එක් වේලෙක අනුභව කරන භොජනයම ලක්‍ෂයක් අගනේය, මෙසේවූ ආහාර සම්පත්තියක් පෙර පසේ බුදුන් වස් වස්වා ප්‍රසන්න වූ සිතින් දවසින් දවස ඇදහිලි ඇති ව දුන් දානසම්පත්තීන් ම ලදහ යි දතයුතු.
එ කල ආයුෂ්මත් වූ මුගලන් මහතෙරුන් වහන්සේ සිටාණන්ගේ මේ භොජනය දැක “ඔහු කරා ගොස් ඒ බස් ගෙනෙමි”යි සිතා එ කෙණෙහි සිවුරු වැළඳ පාත්‍රය දරා, වක් කළ අතක් දික් නොකරන ඇසිල්ලෙහි රජගහා නුවරින් චම්පා නුවරට වැඩ සිටාණන්ගේ සඳල්ලෙහි සඳවලාපටලයෙකින් වැසුම් ලද ඉන්ද්‍රනීලමණි පර්‍වතයක් සේ සියලඟින් නීලරශ්මි විහිදුව විහිදුවා වැඩ සිටිසේක. එ වේලෙහි සිටාණෝ තෙරුන් වහන්සේ දැක පස්වනක් ප්‍රීතීන් පිනා වැඳ පාත්‍රය ගෙන තෙරුන් වහන්සේ වඩා හිඳුවා තමන්ට සපයා තුබූ යටකී සුවඳහැල් සාලේ බතින් පාත්‍රය පුරා අතට පිළිගැන්වූහ. තෙරුන් වහන්සේ ගමනාකාර දක්වා “අප බුදුහු අද විරේචනයකින් පිළියමක් ලද සේක. එසේ හෙයින් බුදුන්ගේ සුකුමාරවූ ශරීරයට තොපගේ මේ ආහාර ය ම සුදුසුය. බුදුන් උදෙසා සිඟා ආම්හ”යි වදාළ සේක.
සිටාණෝ එ පවත් අසා ඉතා සන්තෝෂව “ස්වාමිනි! මා ගළවා නුඹවහන්සේට දුන් භොජනය නුඹවහන්සේ ම වළඳා වදාළ මැනැව බුදුන්ට ද මාගෙන්ම දන් යවමි”යි කියා ඔබ එ බත වළඳවා නැවත පාත්‍රය ශෝධා, සුවඳ පැනින් පිරිසුදු කොට එම සුවඳ බතින් පාත්‍ර ය පුරා “මේ බත මාගේ ආරාධනාවෙන් බුදුන් වළඳවාලුව මැනවැ”යි කියා තෙරුන් වහන්සේට පාත්‍රය දුන්හ. වේලෙහි තෙරුන් වහන්සේ ද සිටාණන් බල බලා සිටියදී ම ආකාශයට පැන නැඟී වේළුවනාරාමයට වැඩ පාත්‍ර ය බුදුන් ශ්‍රී හස්තයට පිළිගැන්වූ සේක.
එ වේලෙහි බිම්බිසාර රජ්ජුරුවෝ ද “අද විරෙචන දිනයෙහි මාගේ බුදුහු කෙසේ වූ භෝජනයක් වළඳන සේක් දෝ හෝ” යි තමන්ට පිසූ රාජභොජනයෙන් නිමන්ත්‍රණය කෙරෙමි යි සිතා වෙහෙරට ගොස් බුදුන් ළඟ සිටියාහු එ බත්පාත්‍රයෙහි පිධාන ය හැරීම හා සමඟම සියලු වෙහෙර ආරාමයෙහි සුවඳ අමා බස්නට පටන්ගත් කල රජ්ජුරුවෝ විස්මයපත් ව මුගලන් මහතෙරුන් වහන්සේ මුහුණ බලා “ස්වාමිනි! මේ මිනිස්ලොව බතෙක් නො වෙයි, ශක්‍ර භවනයට වැඩිසේක් ද, නොහොත් උතුරුකුරු දිවයිනට වැඩිසේක්දැ”යි විචාරා තමන්ගේ රාජභෝජනය බුදුන් වළඳවමි යි අවුත් බුදුන්ට උපන් භෝජනයෙහි තෘෂ්ණා බැන්දහ.
බුදුහු රජ්ජුරුවන්ගේ අදහස් දැන “මහරජ! දිව්‍ය භොජනයෙකු ත් නො වෙයි, උතුරුකුරු දිවයිනෙන් ගෙනා බතෙකුත් නො වෙයි, මනුෂ්‍ය භොජනයෙක් ම ය, තොපගේ චම්පා නම් නුවර, තොපට ම මෙ වක සේවක වූ සෝණසිටාණන් දවස් පතා අනුභව කරන බත් වේ දැ”යි වදාරා ඒ සිටාණන්ගේ ශ්‍රීමත් කම් හා ඔවුන්ගේ පත්ලෙහි ලොම් ඇති නියා හා ඔවුන්ගේ නොඑක් පින්බල වදාරා “මහරජ! මෙ වැනි බතක් තොපත් අනුභව කළවිරූ නැත, තෙපිත් අනුභව කරව”යි වදාරා රජ්ජුරුවන්ටත් දෙවා, බුදුහු එ බත් වළඳා වදාළ සේක.
කුමක් නිසා බුදුහු උපාසක ධර්‍මයෙහි පිහිටියා වූ රජ හට බත් දෙවා වදාළ සේක් ද යත්? මතු වන ලෝවැඩක් උදෙසා ම රජ්ජුරුවන් බත් කැවූ සේක. කෙසේ වූ ලෝවැඩෙක් ද යත්? රජ්ජුරුවෝ මෙ බතෙහි රස දැන විස්මයපත් වූවාහු සිටාණන් පත්ලෙහි ලොම් දන්නා නිසා “සිටාණන් දක්නා කැමැතියෙමි” කියා යවති, එ කල ඒ සෝණසිටාණෝ අසූදහසක් පමණ නියම් ගම් වාසීන් ගෙන රන්සිවි ගෙයෙකින් අවුත් රජ්ජුරුවන් දකිති, එකල රජ්ජුරුවෝ උන් පත්ලෙහි ලොම් ආදි වූ ආශ්චර්‍ය්‍ය හා රූපලීලායෙහි පැහැද තුමූ මෙ ලොවින් අනුශාසනා කොට “පරලෝ වැඩ නිසා ගොස් බුදුන් දකුව’”යි කියති, එ කල සිටාණෝ අසූදහසක් ජනයන් හා සමඟ අවුත් මා දැක බණ අසා සෝවාන් ව, ඒ සා මහත් සිටු සැපත් හැර මා කෙරේ මහණ ව, අමාමහ නිවන් දැක, සෝණ නම් මහතෙර ව, බුද්ධශාසන නමැති ශ්‍රී නගරයෙහි නැඟු ජය කේතුවක් සේ, ඉතා ප්‍රසිද්ධ වන්නාහු යයි මෙසේ වූ ලෝවැඩක් දැක බුදුහු ඒ භෝජනයෙන් රජුට සංග්‍රහ කළ සේකැ යි දතයුතු.