මහා ප්‍රජාපතීන්ගේ පරිනිර්වාණය හා ආදාහනය

star_outline

එ කල උන් වහන්සේ සපිරිවරින් ගොස් මෙහෙණවරට වැද ආසනයට පැනනැඟී අර්ධපර්යඞ්කයෙන් වැඩහිඳ ප්‍රථමධ්‍යානයට සමවැදලා, එයින් ද්විතීයධ්‍යානයට සමවැදලා, එයින් තෘතීයධ්‍යානයට සමවැදලා, එයින් චතුර්ථධ්‍යානයට සමවැදලා එයින් ආකාසානඤ්චායතන ධ්‍යානය, විඤ්ඤානඤ්චායතන ධ්‍යානය, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානය යි නො එක් ධ්‍යානයට අනුලෝම - ප්‍රතිලෝමයෙන් නො එක් ශතසහස්‍ර වාරයෙහි සමවැද පහනක් නිවුවා සේ චෙතනාව නිරුද්ධ කොට නිවන්පුර ගොස්, කතක ප්‍රතිමා රූපයක් සේ වැඩහුන් සේක. එසේ ම පන්සියක් මෙහෙණින්නෝ ද තමන් තමන්ගේ ශයන මතුයෙහි අර්ධ පර්යඞ්කයෙන් ම හිඳ එම ක්‍රමයෙන් ම ඒ ක්‍ෂණයෙහි ම චෙතනාවන් නිරුද්ධ කොට ප්‍රතිබිම්බ මෙන් උන්හ.

එ කෙණෙහි ම මහී නමැති කාන්තා සියදහස් ගණන් වාරයෙහි මහහඬින් ගුගුරා වෙවුලා පැනනැඟී ආකාශයෙහි අකුණු සෙන විදුලිය ශතසහස්‍රයන් දක්වා අකාලයෙහි මේඝනාද පතුරුවා මහහඬින් ගුගුරා පැනනැංග. සියලු දෙවතාවෝ ද අහෝ ඛෙදය! අහෝ ඛෙද ය යි තුන්ලෝ පුරා ගුගුරා පැන නැංගහ. මහමෙර කුඹල්සකක් සේ භ්‍රමණය කොට කම්පිත ව නැමිණ. මහමුහුද හැළල ගිය. ආකාශයෙන් මල් වර්ෂා වැස්ස.

එ වේලෙහි සමහර දෙවියෝ වහ වහා දිව ගොස් “ස්වාමීනි! බුදුන් මවු වූ මහාප්‍රජාපතී ගොතමී නමැති ගුවන්සඳ ශාසනාම්බරයෙන් ගිලිහී පතිත වි ය, පන්සියයක් ශාක්‍ය මෙහෙණිනි තරු සමූහයෝ ද ගිලිහුණහ, නුඹගේ ශාසනය උනු වී ය”යි බුදුන්ට දැන් වූහ. එ වේලෙහි ස්වාමිදරුවාණෝ ආයුෂ්මත්වූ අනඳ මහතෙරුන් වහන්සේ බණවා “ආනන්දය! මාගේ ශ්‍රාවක සංඝයාට මෙ පවත් කියව, අද බුද්ධමාතාවෝ නිවන්පුර ගියහ, ඔවුන්ගේ ලොවට ඉතා අද්භූත වූ බුදුකෙනෙකු දු ලැබගත නො හැක්කා වූ ආදාහන මංගල්‍ය පූජා කාලයෙකැ”යි වදාළ සේක. එ තෙපුල් අසා අනඳ මහ තෙරුන් වහන්සේ දෑස් පිරුණු කඳුලෙන් සෝදුක් ඉවස ඉවසා සියලු භික්‍ෂු සංඝයා කරා ගොස් එ පවත් සැලකළ සේක. එ කෙණෙහි බුදුන්ගේ අදහස් දත් දෙවියෝ ද දසදහසක් යොදුන් දඹදිව මුළුල්ලෙහි වසන්නා තුණුරුවන් කෙරෙහි පහන් වූ සියලු ස්ත්‍රී පුරුෂයන් හා සියලු සංඝගණයා කරා දිව බුදුන් මවු මහාප්‍රජාපතී ගෝතමීන්ගේ අද ආදාහන මඞ්ගල්‍ය පූජාවෙක් විශාලා මහනුවර දී වෙයි. හැමදෙන ම නික්මෙව”යි මුළු දඹදිවට සැලකළහ. දඹදිවට මතු නොවෙයි, මේ සක්වළ දෙවියෝ දසදහසක් සක්වළ මුළුල්ලෙහි දිව්‍ය බ්‍රහ්ම සේනාවට ද දිව දිව ගොස් මෙ තෙපුල් කියා මොහොතක් කලින් රැස් කළහ.

එ කෙණෙහි දෙව්ලොව බඹලොව නාලොව ආදියෙහි ධ්‍යාන නිසා ගොස් වැඩහුන්නා වූ රහතන් වහන්සේ දක්වා බුදුන් සිතූ සිත හා සමඟ දික් කළ අතක් වක් නො කරන ඇසිල්ලෙහි අවුත් බුදුන් පෙරට පෙනුණු සේක. ඒ සා දඹදිව ප්‍රත්‍යන්තවල සිය දහස් යොදනෙහි පවා වසන පෘථග්ජන භික්‍ෂූහු බුද්ධානුභාවයෙන් පාත්‍ර චීවර ධරා එම වෙහෙර බෝමළුවෙක වත් පුරන්නට යනුවන් සේ කිසි පීඩාවක් නැතිව ම ගොස් ඒ වෙහෙර ම පුරා ගත්හ. දඹදිව තව ද ශ්‍රද්ධාවන්ත වූ නො එක් ස්ත්‍රී පුරුෂයෝ බාල දරුවනු දු වඩාගෙන ඉක්බිති ගෙයක කෙළියක් බලන්නට යනුවෙන් සේ කිසි පීඩාවක් නැතිවම පෙළ පෙළ දී කෙළ කෙළ ගොස් ඒ එක විශාලා මහනුවර ම රැස්වූහ. තෙසැට දහසක් රාජධානි ඇති දඹදිව් තෙලෙහි තුණුරුවන් කෙරෙහි පහන් රජ බමුණු වෙළඳ ගොවි චාතුර්වර්ණ ස්ත්‍රී පුරුෂයන් අතුරෙන් එ නුවරට නො ගියා වූ එක ද සත්ත්‍වකෙනෙක් නැත. මොහු එකනුවර කෙසේ සිටියාහු ද යත්?

බුදුන්ගේ ආනුභාවයෙන් ම සිටියහ. සතර මහදිව මනුෂ්‍යයන් ආව ත් තවත් අවකාශ පෙනේ ය. තව ද එක් මහිමයෙක් ඇත: එතෙක් සත්ත්වයන් අතුරෙන් යම් යම් කෙනෙක් යම් යම් කෙනෙකුන්ගේ දර්ශනයෙහි ප්‍රිය ඇතියාහු වූ නම් ඔහු ඔවුනොවුන්ට පෙනෙන්නාහු ම ය, යම් යම් කෙනෙකුන්ගේ දැක්මෙහි අරුචි ඇතියාහු වූ නම් ඔහු ඔවුනොවුන්ට නොපෙනෙන්නාහු ම ය. මෙයි දු මාගේ ස්වාමිදරුවන්ගේ බුද්ධ මහිමයෙක් ම ය, අවින්ත්‍ය ම ය, අසදෘශ ම ය, අද්භූත ම ය, ආශ්චර්‍ය්‍ය ම ය, පෙළහර ම ය, විස්මය ම ය, තව ද දසදහසක් සක්වළ රැස් වූ දිව්‍ය සේනාවට ද එම නය ම ය, එම ප්‍රකාර ම ය.

මෙසේ වූ දිව්‍ය බ්‍රහ්ම නාග සුපර්ණ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා ය යි යන අෂ්ට මහා පර්ෂදෙහි සමාගමය කෙතෙක් ඇසිල්ලෙකින් වී ද? යත්; මාගේ ස්වාමිදරුවන් ඒ අධිෂ්ඨාන චිත්තය කොට ගඳකිළියෙන් පිටත්ව ගොස් වෙහෙර දොරටුයෙහි ඉන්‍ද්‍රඛීලමස්තකයට ශ්‍රීපාද දිගුකරන ඇසිල්ලෙහි, මේ මහත් වූ සමාගමයෙක් වී ය යි දතයුතු. මෙසේ වූ අනූන වූ සමාගමයෙක් බුදුන් බුදුව වැඩහුන් පන්සාලිස් හවුරුද්ද මුළුල්ලෙහි අනික් කිසි කලෙකත් නුවූයේය.

එ කෙණෙහි විශ්වකර්‍ම දිව්‍යපුත්‍රයා අවුදින් “අද මාගේ කර්‍මාන්ත විෂයෙහි ඵල ලැබ ගන්නා කලෙක් ම ය. අනික් ශිල්පියක්හට මේ පින්කම් නො දෙම්ම ය”යි සිතා පන්සියක් රන් සිවි ගෙවල් අසුරුසණෙකින් මවාලා මෙහෙණවර පිළිවෙළින් තබා පන්සියක් හිරිසඳ දෙවියන් විමන් හා සමඟ අහසින් බැස පූජාවට මිහි මඬලෙහි සිටගත්තා සේ රුවන්මඩු ශෝභාවෙන් සියලු නුවර ඒකාලෝක කොට තෙමේ බුදුන් පෙරට සිටගත.

එ කෙණෙහි එ නුවරින් දිවු සත්දහස් සත්සිය සත්දෙනකු පමණ ඇති ලිච්ඡවි බිසෝවරු උරෙහි අත්පැහැර පැහැර අවුදින් හඬා මුසපත්ව සන්හිඳි පන්සියක් මෙහෙණින්නන් ස්වහස්තයෙන් වඩා පන්සියක් රන්සිවි ගෙවලට වඩා සිසාරා අතුරු නො දී සිටියහ. දසදහසක් සක්වළ සතළිස් දහසක් වරම් රජදරුවෝ “බුදුන් මෑණියන් වහන්සේට අපි අපිම මඟුල් මෙහෙ කරම්හ”යි දිව අවුදින් පන්සියක් රුවන් මඬු ඔසවා තමන් තමන් කරින් උසුළාගෙන නික්මුනාහ. දස දහසක් සක්වළ ශක්‍ර-සුයාම-සන්තුෂි තාදි පනස් දහසක් දිව්‍ය රජදරුවෝ තමන් තමන්ට අවකාශ නැති හෙයින් සූක්‍ෂ්ම වූ අත් මවා එක කැණිමඬුල්ලට බොහෝ ගොනැස් ඉරවූවා සේ අත් දිගු කොට පන්සියක් රුවන්මඬුවල කුළුගෙවලට අත් දි දී යෙති.

එ කල ස්වාමිදරුවෝ ශ්‍රාවක ගණයා පිරිවරා පසු පස්සෙහි වඩනා සේක, එයිදු එක් පූජාවෙක. දස දහසක් සක්වළ සෙසු දෙවියෝ අහස්කුස්පුරා තමන් තමන්ගේ ශක්ති පමණින් පූජා කෙරෙමින් යෙති, බ්‍රහ්මයෝ බ්‍රහ්ම සෘද්ධීන් පූජාකෙරෙති, සමහර දෙවියෝ දිව්‍යසෘද්ධීන් පූජාකෙරෙති, අසුරයෝ අසුර ඍද්ධීන් පූජා කෙරෙති, නාගයෝ නාග සෘද්ධීන් පූජා කෙරෙති. ගරුඬයෝ ගරුඬ සෘද්ධීන් පූජා කෙරෙති, ගන්‍ධර්වාදි සෙසු දෙවියෝ තමන් තමන්ගේ ඍද්ධීන් පූජා කෙරෙති, සමහර දෙවියෝ අහස් වියන් ධරා යෙති, හිරිමඬල සඳමඬල ආකාශයෙහි පෙනි පෙනී සිටගත. සක්වළගබ මුළුල්ලෙහි සියලු තාරකාවෝ ද දිලිහි දිලිහී පෙනෙන්නට පටන්ගත්හ. මධ්‍යාහ්න සූර්යයා රාත්‍රි චන්ද්‍රයා සේ සොමි පහස් දෙන රශ්මි පතුරු වන්නට පටන් ගත. තව ද එක් පෙළහරකුදු ඇත: රුවන් මඬු උසුළා යන දෙවියෝ මිනිසුන්ට නො පෙනෙති, උසුළා යන මනුෂ්‍ය කෙනකුදු නැත, පන්සියක් සඳමඬුළු ආකාශයෙන් යන්නා සේ පන්සියක් නකත් තරු පෙළක් සේ, පන්සිය රුවන් ආකාශයෙන් තෙමේ ම යෙයි. මෙයි දු එක් පෙළහරෙක. පළමු ව යන ලිච්ඡවි රජුන් ආදි වූ මුළු දඹදිව මනුෂ්‍ය සේනා ය, පසුපස්සෙහි වඩනා බුදුරජාණන් හා අසූ මහ සවුවන් හා, ඔවුන්ගේ පන්සිය පන්සිය පිරිවර හා, අවශේෂ වූ ලක්ෂගණන් කෝටිගණන් සඟ පිරිසෙක, ආකාශයෙන් යන මහත් වූ දිව්‍ය සේනාවෙක, මෙයි දු එක් පෙළහරෙක. මෙසේ මහත් වූ දිව්‍ය මනුෂ්‍ය සේනාවෙන් ස්වාමිදරුවාණෝ ආදාහන භූමියට වැඩ ශ්‍රාවකයන් බණවා “මහණෙනි! මෙසේ වූ ආදාහන පූජාවෙක් බුදුකෙනකුන්ගේ සස්නෙක, බුදුකෙනකුන් පූජාකරන වෙන තැනෙක් නැත, එසේ හෙයින් බුද්ධමාතාවන්ගේ ආදාහනයෙහි අනූනවූ ශ්‍රාවක සංඝයා සහිත වූ බුදුකෙනකුදු පූජා කළහ, මේ මේ කාරණයෙන් මේ ආදාහන පූජාව මහණෙනි, අද්භූත ම ය අසදෘශ ම යයි වදාරන සේක්:-

න බුද්ධො බුද්ධනිබ්බානෙ-නො පදිස්සති භික්ඛවො

බුද්ධො ගොතමි නිබ්බානෙ-සාරිපුත්තාදි කා කථා:-යි.

යනාදින් බණ වදාළ සේක. එ වේලෙහි දු මහපීරිස සාධුකාර දුන්හ. එ කෙණෙහි ලිච්ඡවි රජදරුවෝ ද පන්සියක් සඳුන් දරසෑ බැඳ එහි වඩා ආදාහනපූජා කරන්නාහු සුවඳ තෙල් සුවඳ සුණු ඉස ඉස මහ පෙරහරින් ආදාහන පූජා කළහ. පන්සියක් භික්‍ෂුණීන්ගේ ධාතු නිරවශේෂයෙන් ම ආදාහන විය. මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේගේ ධාතු මුතු රැසක් සේ නො දා ම තුබුයේය. අනඳ මහතෙරුන් වහන්සේ ඔබගේ ධාතු බුදුන්ගේ පාත්‍ර ධාතුවට වඩා ධාතුයෙන් ධාතු ගෙන බුදුන්ගේ ශ්‍රීහස්ත ධාතුවට දුන්සේක. බුදුහු ඒ ධාතු බලා ධර්‍ම සංවේගයට පැමිණ අශීති මහාශ්‍රාවකයන් ආදිවූ සියලු මහසඟනට දක්වා සුරක්ත වූ තමන් වහන්සේගේ ශ්‍රීහස්තයෙන් කොඳකැකුළු සේ මුතු සුණු සේ ඒ ධාතු පැ පෑ:-

පණ්ඩිතාසි මහාපඤ්ඤා - පුථුපඤ්ඤා තථෙ'වච,

රත්තඤ්ඤු භික්ඛුණීනං සා-එවං ධාරෙථ භික්ඛවො.

.

ඉද්ධියා ච වසී ආසී-දිබ්බාය සොතධාතුයා,

චෙතො පරියඤාණස්ස-වසී ආසි ච ගොතමී.

.

පුබ්බේ නිවාසං අඤ්ඤාසී-දිබ්බ චක්ඛුං විසොධිතං,

සබ්බාසවා පරික්ඛීණා-නත්ථි තස්සා පුනබ්භවො.

.

අත්තදීපගතා හොථ-සතිපට්ඨාන ගොචරා,

භාවෙත්‍වා සත්තබොජ්ඣඞ්ගෙ-දුක්ඛස්ස‘න්තං කරිස්සථ යි.

යනාදි ගාථා වදාරා “මහණෙනි! මේ මහා ප්‍රජාපති ගොතමී තොමෝ මහ නුවණ ඇත්තීය, මහමුහුද සේ ගැඹුරු වූ නුවණ ඇත්තී ය, ආකාශ ය සේ විශාරද ව පවත්නා වූ ඥාන විශේෂයන් ඇත්තීය, මාගේ ශාසනයෙහි සියලු භික්ෂුණීන් අතුරෙන් රාත්‍රඥයන් කෙරෙහි අග්‍ර වුව. අසාධාරණ වූ සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය ඇත්තාහුය. ලක්ෂයක් සක්වළ ක්ෂුද්‍ර ප්‍රාණීන්ගේ දක්වා සියලු ශබ්ද විශේෂයෙන් තමා කන්මුලදී කරන කථාවක් සේ අසන්නට සමර්ථ වූ අසාධාරණවූ දිවකන් ඇතියහ. සියලු සතුන්ගේ සිත් දන්නා නුවණ ඇතියහ. ලක්‍ෂ ගණන් කප්වල උපන් උපන් ජාති එක දවසෙක කළාවූ කටයුත්තක් සේ විශේෂයෙන් දන්නා ජාතිස්මරණ ඤාණ ඇතියහ, ලක්‍ෂයක් වන සක්වළ තිබූ අබ බිජු දක්වා විශේෂයෙන් දක්නා දිවැස් ඇතියහ, සියලු ආශ්‍රවයන් ක්‍ෂය කළහ. එ වැනි මහතුන්ට පවා නො නැවැත්තාවූ මේ ස්වභාව ධර්‍මයෙක, මහණෙනි! තෙපි තෙපි දු තොප තොපට සිතා නම් අප්‍රමාද ව භාවනාවෙහි යෙදී සංසාර දුර්‍ගයෙන් ගොඩනැඟී ඔවුන් සේ ම අමාමහ නිවන් දකුව”යි බණ වදාරා ඒ ධාතු එ නුවර ම පිහිටුවා ලිච්ඡවි රජුන් ලවා මහාචෛත්‍යයක් කරවා එහිදු අපමණවූ පූජා කරවා, දවස් පතා නොඑක් සත්කාර කරන සේ නියෝග කොට තමන් වහන්සේද ඒ සෑය මලින් ගඳින් පුදා ශ්‍රාවකයන් හා සමඟ මහසෑය සිසාරා ප්‍රදක්‍ෂිණා කොට සියලු සතුන්ට බණ වදාරා, නොඑක් ලෝවැඩ කොට එයින් ශ්‍රාවකයන් පිරිවරා දෙවුරම් වෙහෙරට ම වැඩි සේක.

මෙසේ මේ මහා ප්‍රජාපති ගොතමීන් වහන්සේ ආදි වූ පන්සියක් සාක්‍ය මෙහෙණින්නන් විසින් කළාවූ යථොක්ත වූ පන්සියක් ප්‍රතිපත්ති පූජාවන් ලත් හෙයින්ද මා විසින් පවා සඞ්ඛ්‍යාවක් කොට ගත නො හැක්කාවූ අප්‍රමාණ වූ ප්‍රාතිභාර්‍ය්‍යාදි නො එක් පූජාවන් ලත් හෙයින්ද, ඔබට තමන් වහන්සේ කැරවූ මේ ආදාහන පූජාව මවුන් හිමි සැපත් දරුවන් හිමි වන හෙයින් තමන් වහන්සේම ලදුවා නම් වන හෙයිනු ත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:-

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොක නාථෙ,

අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං–යි.

මේ පූජාවලියෙහි අප බුදුන් මහාප්‍රජාපත්‍යාදි ශ්‍රාවිකාවන්ගෙන් ලද

භික්ෂුණී ප්‍රතිපත්ති පූජා කථා නම් වූ සත් විසි වන පරිච්ඡේදය නිමි.