එසේ ම මිණියක් ලිහිණියෙක් ගෙන ආකාශයෙන් හිමාල ය බලා යන කල්හි උතුරු සළු දෙකෙක් දඹදිවට නුදුරු වූ මහ වනයෙක වැටී ගිය. එ කල ඒ සළු දෙක යට කී චණ්ඩ ප්‍රද්‍යොත රජ්ජුරුවන්ගේ විජිතයෙහි වැද්දෝ වනයෙහි තුබුවා දැක අනැඟි වූ වස්ත්‍රජාතියෙකැයි ගෙන’වුත් තමන් රජ හට පාවා දුන්හ. රජ්ජුරුවෝ එ සළු දෙක බලා අගය කරවා, ලක්‍ෂයක් කෝටියක් පමණටත් එම වඩනා සේ මුළු දඹදිව සියලු රජුන්ගේ සළුපිළී එක්කළත් එ ම වඩනා සේ දැක. “මෙ වැනි අනැඟි වූ වස්ත්‍රයෙක් කවුරුන්ට තරම් දෝ හෝ”යි කල්පනා කරන්නාහු ජීවකයන් සිහිකොට “ජීවකයෝ නම් මා දිවි රැක දුන් යහළුවහ, තමන්ගේ ජීවිතයටත් නො සිතා මාගේ ජීවිත ය රැක දුන් හෙයින් මට කල්‍යාණ මිත්‍රයහ, නො එක් වාරයෙහි මා විසින් කැඳවා යවතු දු මා කළ නුගුණ සිතා මා කරා නො එන්නාහ, ඉදින් අවු නම් මාගේ රාජ්‍යයෙන් අර්ධයක් දෙම් ම ය, ඔවුන් නො එන බැවින් මේ අනැඟි වූ දිවසළු දෙක උන් කරා යවමි”යි සිතා නො එක් රන් රුවන් ඇතුළු වූ රජ පඬුරු බිම්සර රජ්ජුරුවන්ට යවා ඒ ශාටක යුග්මය ප්‍රධාන වූ නො එක් සම්පත් ජීවකයන්ට යවූහ.