අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ද්වාරයන්ගේ වශයෙන් චිත්ත චෛතසිකයන් බෙදා දැක්වීම

ද්වාර සංග්‍රහ නම් වේ.

ද්වාර යනු දොරටුවට නමෙකි. යම් ස්ථානයකට ඇතුල් වීමටත් එයින් පිට වීමටත් දොරටුව උපකාර වේ. මේ ශරීරය පිළිබඳව ද එවැනි දොරටු දෙ වර්ගයක් ඇත්තේය. ඇස් සිදුරු, කණ් සිදුරු, නාස් සිදුරු, මුව සිදුරු, රෝමකූප යනාදිය, ශරීරය බිඳී ප්‍රකටව පෙනෙන බැවින් ඡිද්දද්වාර හෙවත් දොර සිදුරු නම් වෙති. මෙය හැර, ඇසට නො පෙනෙන, සිත් ඇති වීමට උපකාර වන හෙවත් මණ්ඩද්වාර සයක් ඇත්තේය. මේ මණ්ඩද්වාර හෙවත් දොරටු සය, ශරීරය සිදුරු නොවී, ශරීරයෙහි ම පිහිටි විශේෂ ඔපයක් හෙවත් පැහැයක් ඇති ස්ථාන සයකි. නාම ධර්මයන් පිළිබඳව ද්වාර යයි කියනු ලබන්නේ මේ ඔපය හෙවත් පැහැය පවත්නා ස්ථානයන්ට බව දත යුතුයි. ආරම්මණයන්ගේ ඇතුල්වීම හා පිටවීම වන්නේ මේ ද්වාර වලින්ය. ඒ ඒ වර්ගයේ අරමුණු ඇතුල් වීමට වෙන් වෙන් වූ ද්වාර ඇත්තේය. යම් ද්වාරයක් නැති කල්හි එයින් ගනු ලබන ආරම්මණ යන්ගේ ඇතුල් වීමක් ද නැත්තේ ය. එ බැවින් ඒ හේතුවෙන් හට ගන්නා සිත් ද පහළ නො වන්නේ ය. ද්වාරයෙන් අරමුණු ඇතුල් වීම යයි කී කල්හි ද්වාරයෙහි අරමුණ ස්පර්ශ වීම ප්‍රකාශ වන්නේය. අරමුණ ද්වාර හා සමඟ ස්පර්ශ වූ විට එම සත්වයා පිළිබඳ ව පවත්නා චිත්ත සන්තතිය එයින් කැමති අරමුණක් ගෙන ඒ පිළිබඳව දැනීමක් ඇති කරවන සිත් උපදවා ගෙන සිතින් කළ හැකි නොයෙක් කෘත්‍ය යන් සිදු කරන්නේය. යම් ද්වාරයක් හා ස්පර්ශ වූ අරමුණක් එල්බ ගෙන හට ගත් සිතෙහි උත්පාදය හෙවත් ඉපදීම, අරමුණ ඇතුල්වීම වශයෙන් දත යුතුයි. එ තැන්හි දීම ඇතිවන ඒ සිතෙහි නිරුද්ධය හෙවත් අභාවය ආරම්මණයාගේ පිටවීම වශයෙන් දත යුතුයි.

රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන අරමුණු සය ඇතුළත්වීමට ද්වාර සයක් ඇත්තේ ය. එනම්:-

  1. රූප අරමුණු ඇතුල් වන චක්ඛුද්වාරය
  2. ශබ්ද අරමුණු ඇතුල් වන සෝතද්වාරය
  3. ගන්ධ අරමුණු ඇතුල් වන ඝාණ ද්වාරය
  4. රස අරමුණු ඇතුල් වන ජිව්හා ද්වාරය
  5. පොට්ඨබ්බ අරමුණු ඇතුල් වන කාය ද්වාරය
  6. ධම්ම අරමුණු ඇතුල් වන මනො ද්වාරය.