මනොද්වාරය
පඤ්චද්වාරයෙන් හැර, සිතින්ම ගන්නා අරමුණු වැදගන්නා වූ මනොද්වාරික චිත්තයන්ගේ ඉපදීමට කාරණාවූ ද, මනොද්වාරික චිත්ත වීථියෙහි මනොද්වාරාවජ්ජන සිතට පෙරටුව, භවඞ්ග චලන සිතට අනතුරුව උපදනා භවඞ්ගුපච්ඡෙද චිත්තය මනොද්වාරය නම් වේ. පඤ්චද්වාරයන්ට අරමුණු නොවන්නාවූ ද, මනොද්වාරයට පමණක් අරමුණු වන්නාවූ ද පසාදරූප, සුඛුම රූප, චිත්ත, චෛතසික, නිබ්බාන, පඤ්ඤත්ති යන ධම්මාරම්මණයන් වැදගන්නා වූද කම්ම සමුට්ඨාන වත්ථුදසක රූපකලාපයන්හි ඇතුළත්වූ හදයවත්ථු රූප පරම්පරාව ඇසුරු කොට ගෙන පවත්නාවූද භවඞ්ග චිත්තයක් වූ භවඞ්ගුපච්ඡෙද නම් සිත මනොද්වාරය වේ. පඤ්චද්වාරික අරමුණු ගෙන උපදනා වීථි චිත්තයන්ට පෙර පහළවන භවඞ්ගුපච්ඡෙද සිත මනොද්වාරය නොවන බැව් සැලකිය යුතුයි.
### ද්වාරික සිත් සහ ද්වාරවිමුක්ත සිත්
ද්වාරයන්ගේ වශයෙන් සිත් බෙදා දැක්වීමේදී සියළුම සිත් ද්වාරික සිත් සහ ද්වාරවිමුක්ත සිත්යයි දෙකොටසකට බෙදනු ලැබේ. මේ භවයේදීම ෂට් ද්වාරයන් ගෙන් ගත්අරමුණු එල්බ ගෙන උපදින සිත් ද්වාරික සිත් නම් වේ. මේ භවයේ දී ෂට්ද්වාරයන්ගෙන් නොගත් පූර්ව භවයෙන් ගත් අරමුණ එල්බගෙන උපදින සිත් ද්වාරවිමුක්ත සිත් නම් වේ.