අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ජිව්හාද්වාරය

රස අරමුණු වැදගන්නා වූ ද, ජිව්හාවිඤ්ඤාණය හට ගැනීමට උපකාර වන්නා වූ ද, සසම්භාර ජිව්හය ඇසුරුකොට ගෙන පවත්නා වූ ද, මහාභූත රූපයන්ගේ ඕපය හෙවත් ප්‍රසාදය නම් වූ ඉතා සියුම් රූප පරමාර්ථධාතුව හෙවත් ජිව්හා ප්‍රසාදය, ජිව්හාද්වාර නම් වේ.

සසම්භාර ජිව්හය, ප්‍රසාද ජිව්හය යයි ජිව්හය දෙ වැදෑරුම් වේ.

මුව සිදුර තුළ පිහිටි, දිව නම් වූ ආහාර රසය දැන ගැනීමට උපකාර වන සතරමහා භූතාදීන්ගෙන් සැදුනු ස්ථානය සසම්භාර ජිව්හය නම් වේ.

සසම්භාර දිව ඇසුරු කොට ගෙන පවත්නා වූ ද, කම්ම සමුට්ඨාන ජිව්හාදසක රූපකලාපයන්හි ඇතුළත් වූ ද, ජිව්හාවිඤ්ඤාණයට නිශ්‍රය වන ඕපය හෙවත් පැහැය නම් වූ ඉතා සියුම් රූපපරමාර්ථ ධාතුව ජිව්හාප්‍රසාදය නම් වේ. රසාරම්මණය ඇතුල් වීමට හෙවත් වැදගැනීමට උපකාර වන බැවින් මේ ජිව්හා ප්‍රසාදයට, ජිව්හාද්වාර යයි කියනු ලැබේ. රස අරමුණු එල්බ ගෙන ජිව්හා විඤ්ඤාණය ඉපදීමට ස්ථාන වන බැවින් ජිව්හාවස්තුව යයි ද ව්‍යවහාර වේ. ජිව්හෙන්ද්‍රිය යයි ද මෙයට ම නමෙකි.