චක්ඛු ද්වාරය
රූප අරමුණු හෙවත් වර්ණය වැදගන්නාවූ ද, චක්ඛු විඤ්ඤාණය හටගැනීමට උපකාර වන්නා වූ ද, සසම්භාර චක්ෂුව ඇසුරු කොට පවත්නාවූ ද, මහාභූතරූපයන්ගේ ප්‍රසාදය නම් වූ ඉතා සියුම් රූප පරමාර්ථධාතුව හෙවත් චක්ෂුප්රසාද රූපය, චක්ඛුද්වාර නම් වේ.
ප්‍රඥාචක්ෂු, මාංශචක්ෂු යයි චක්ෂු දෙ වර්ගයකි. එයින් ප්‍රඥා චක්ෂුව නම් නුවණැසට කියන නමෙකි. මේ නුවණැස වනාහී බුද්ධචක්ඛු, සමන්තචක්ඛු, ඤාණ චක්ඛු, දිබ්බචක්ඛු, ධම්මචක්ඛු, යනාදී වශයෙන් පඤ්ච ප්‍රකාර වේ. මාංස චක්ඛුව වනාහී සසම්භාර චක්ෂුව, ප්රසාදචක්ෂුව යයි ද්විප්‍රකාර වේ.
සසම්භාර චක්ෂුව වනාහී ඇස් සිදුර තුළ පිහිටා තිබෙන මස්පිඬු ආදීන්ගෙන් සෑදී තිබෙන මසැසය. එය සතර මහාභූතයන්ගෙන් හා උපාදාරූපයන්ගෙන් ද යුක්ත වූ අක්ෂි ගොලයයි.
ප්‍රසාද චක්ෂුව වනාහී සසම්භාරචක්ෂුව ඇසුරු කොට පවත්නා දෘෂ්ටි මණ්ඩලය නම් ස්ථානයෙහි පිහිටි, කර්මයෙන් හටගන්නා ලද පඨවි, ආපො, තෙජො, වායො, වණ්ණ, ගන්ධ, රස, ඔජා, ජීවිතෙන්ද්රිය යන රූප නවය හා එක්ව යෙදුනු, චක්ඛු විඤ්ඤාණයට නිශ්‍රය වන ඔපය හෙවත් පැහැය නම් වූ චක්ඛුප්‍රසාද රූපය වේ.
මෙ වැනි චක්ඛුදසක රූප කලාප මහත් රාශියකින් යුක්ත වූ අක්ෂි පටලය රූපාරම්මණයන්ගේ ඡායාව වැදගැනීමට යොග්‍ය වූ ද්වාරයකි. මෙසේ ඇතුල් වූ රූපාරම්මණය එල්බ ගෙන චක්ඛුවිඤ්ඤාණය ඉපදීමට ස්ථාන වන බැවින් චක්ඛුවස්තු නමුදු වේ. චක්ෂුරෙන්ද්රිය යයි ද එයටම නමෙකි.