ද්වාරවිමුක්ත සිත්.
මේ භවයට අයත් නොවූ, පූර්ව භවයෙන් ගන්නා ලද අරමුණු පමණක් ගෙන උපදනා සිත් ද්වාරවිමුක්ත සිත් නම් වේ. පටිසන්ධි භවඞ්ග චුති කෘත්‍යයන් පමණක් සිදුකරන්නාවූ ද්වාරවිමුක්ත සිත් නවය නම් මහග්ගත විපාක සිත් නවයයි. මේ සිත් නවය අන් ආකාරයකින් නූපදනේය. උපෙක්ඛා සන්තීරණ දෙසිතත්, මහා විපාක අටත් පටිසන්ධි, භවඞ්ග, චූති කෘත්‍යයන් කරමින් උපදනා කල්හි පමණක් ද්වාරවිමුක්ත සිත් වශයෙන් පූර්ව භවයෙන් ගත් කම්ම, කම්මනිමිති, ගතිනිමිති නම් අරමුණු වලින් එකක් ගෙන උපදනේය. මේ හැර මේ සිත් ෂට්ද්වාරික වශයෙන් අරමුණු ගෙන සන්තීරණ තදාරම්මණ කෘත්‍යයන් කරමින් උපදින බව දත යුතුයි.