අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ඝාණද්වාරය

ගන්ධ අරමුණු වැදගන්නා වූ ද, ඝාණවිඤ්ඤාණය හට ගැනීමට උපකාර වන්නාවූ ද, සසම්භාර ඝාණය හෙවත් නාසිකාව ඇසුරු කොට ගෙන පවත්නා වූද, මහාභූත රූපයන්ගේ ප්‍රසාදය හෙවත් ඔපය නම් වූ ඉතා සියුම් රූප පරමාර්ථධාතුව හෙවත් ඝාණප්‍රසාදය, ඝාණද්වාර නම් වේ.

සසම්භාර ඝාණය, ප්‍රසාද ඝාණය යයි ඝාණය දෙ වැදෑරුම් වේ.

නාසිකා සිදුර තුළ පිහිටි, ගඳ සුවඳ දැන ගැනීමට උපකාර වන්නා වූද, නාසය නම් වූ සතරමහා භූතාදීන් ගෙන් සැදුනු ස්ථානය, සසම් භාරඝාණය නම් වේ.

සසම්භාරඝාණය ඇසුරු කොට ගෙන පවත්නා වූ ද, කම්ම සමුට්ඨාන ඝාණදසක රූපකලාපයන්හි ඇතුළත් වූ ද, ඝාණ විඤ්ඤාණ යට නිශ්‍රය වන ඕපය හෙවත් පැහැය නම් වූ රූප පරමාර්ථධාතුව, ඝාණප්‍රසාදය නම් වේ. ගන්ධ අරමුණු ඇතුල් වීමට හෙවත් වැද ගැනීමට උපකාර වන බැවින් මේ ඝාණප්‍රසාදයට ඝාණද්වාරය යයි ව්‍යවහාර වේ. ගන්ධ අරමුණු එල්බ ගෙන ඝාණවිඤ්ඤාණය ඉපදවීමට ස්ථාන වන බැවින් ඝාණවස්තුව යයි ද කියනු ලැබේ. ඝාණෙන්ද්‍රිය යයි ද මෙයට නමෙකි.