ද්වාරික සිත්
ද්වාරික සිත් කොටස් සයකි. එනම් චක්ඛුද්වාරික සිත්, සෝත ද්වාරික සිත්, ඝාණද්වාරික සිත්, ජිව්හාද්වාරික සිත් කායද්වාරික සිත්, මනොද්වාරික සිත්ය.
චක්ඛුද්වාරික සිත්
චක්ඛුද්වාරයෙන් ගන්නා ලද රූපාරම්මණයක් එල්බ ගෙන ඇති වන්නා වූ සිත් චක්ඛුද්වාරික සිත් නම් වේ. චක්ඛුද්වාරයට හමු වන රූප පරමාර්ථයාගේ ආයුෂය චිත්තක්ෂණ සතොළොසකි (17). එයින් චක්ෂු ප්‍රසාදයට හමුවන්නේ වර්තමාන හෙවත් පවත්නා රූපයකි. යම් රූපාරම්මණයක් ගෙන සිත් ඇතිවීමට අවස්ථා පැමිණිකල්හි භවඞ්ග සිත් පරම්පරාවේ එක්තරා සිතකට මේ රූපය හමුවන්නේය. උත්පාදක්ෂණයේදී රූපය ඉතා දුර්වල බැවින් පළමුවන භවඞ්ග සිතෙහි අරමුණ ඉවත් කරගැනීමට අසමර්ථ වේ. මෙසේ ගතවන භවඞ්ග සිතට අතීත භවඞ්ග යයි ව්‍යවහාර වේ. ස්ථිතික්ෂණයේදී රූපය බලවත් හෙයින් දෙවන භවඞ්ග සිතෙහි අරමුණ චලනය වන බැවින් ඒ සිතට භවඞ්ග චලනය යයි කියති. රූප අරමුණ බලවත් නම් එයට අනතුරුව හටගන්නා භවඞ්ග සිතෙහි අරමුණ ඒ සිත නිරුද්ධවන විටම ඉවත් වේ. මේ සිතට භවඞ්ගුපච්ඡෙදය යයි කියනු ලැබේ. එයට පසු අලුත් අරමුණ ගෙන, ඒ අරමුණට සිත් පරම්පරාව යොමු කිරීම් වශයෙන් ආවර්ජන කෘත්‍යය කරමින්, පළමුවන චක්ඛුද්වාරික සිත වූ පඤ්චද්වාරාවර්ජන චිත්තය පහළ වන්නේය. ඊට පසුව එම රූපාරම්මණයම ගෙන පිළිවෙළින් චක්ඛුවිඤ්ඤාණය, සම්පටිච්ඡනය සන්තීරණය, වොට්ඨපනය, ජවන් සතය තදාරම්මණ දෙකය යන වීථි සිත් ඉපිද නිරුද්ධවීමත් සමඟම රූපාරම්මණයාගේ ආයුෂය වූ සතොළොස් චිත්තක්ෂණය ගත වූ බැවින් එම අරමුණත් සමඟම චිත්ත වීථියද අවසන් වී, නැවත භවාඞ්ග සිත් හටගන්නේය. මෙසේ චක්ඛුද්වාරයෙන් රූපාරම්මණයක් ගෙන ඇතිවන්නා වූ සතළොස් චිත්තක්ෂණයන්ගෙන් යුත් චක්ඛුද්වාරික චිත්තවීථියක ද්වාරික සිත් වශයෙන් වැඩිම ගණනින් ද්වාරික සිත් තුදුසක් (14) පහළ විය හැකි බව දත යුතුයි. ආරම්මණය දුර්වල වී නම් මෙයට අඩුවෙන් වීථි සිත් ඇති විය හැකිය.
මෙසේ චක්ඛුද්වාරික සිත් වශයෙන් ඇතිවිය හැකි සිත් සසාළිසකි. (46) එනම්.
| 1. | පඤ්චද්වාරාවජ්ජන සිත | 1 | |||
| 2. | චක්ඛුවිඤ්ඤාණ සිත් | 2 | |||
| 3. | සම්පටිච්ඡන සිත් | 2 | |||
| 4. | සන්තීරණ සිත් | 3 | |||
| 5. | වොට්ඨපන (මනොද්වාරාවජ්ජන සිත) | 1 | |||
| 6. | ජවන් සිත් | අකුසල් | 12 | 29— | 29 |
| හසිතුප්පාද | 1 | ||||
| මහාකුසල් | 8 | ||||
| මහා ක්‍රියා. | 8 | ||||
| 7. | තදාරම්මණ සිත් (11) න් සන්තීරණ සිත් 3 ගත් බැවින් ඉතිරි | 8 | |||
| 46 | |||||
සෝතද්වාරික සිත්
සෝතද්වාරයෙන් ශබ්ද අරමුණක් ගත් කල්හි සෝතද්වාරික චිත්ත වීථියක් පහළ වන්නේය. එම චිත්ත වීථියද චක්ඛුද්වාරික චිත්ත වීථිය මෙනි. චක්ඛු විඤ්ඤාණය වෙනුවට සෝතවිඤ්ඤාණය යොදා ගත් කල්හි සෝතද්වාරික චිත්ත වීථියේ උපදින වීථි සිත් දත හැකි වේ.
සොතද්වාරික සිත් ද සසාළිසකි. (46) එනම් පඤ්චද්වාරාවජ්ජනය, සොතවිඤ්ඤාණ දෙසිතය, සම්පටිච්ඡන දෙසිතය, සන්තීරණ සිත් තුනය, වොට්ඨපන සිතය, ජවන් සිත් විසිනවය, තදාරම්මණ සිත් එකොළොසින් සන්තීරණ සිත් තුන හැර ඉතිරි මහාවිපාක අටය යන සසාළිස් චිත්තයෝයි. මෙයින් එක් සොතද්වාරික චිත්ත වීථියක යෙදෙන වැඩිම ද්වාරික සිත් ගණන තුදුසකි. (14)
ඝාණද්වාරික සිත්
ඝාණද්වාරයෙන් ගන්ධ අරමුණක් ගත් කල්හි ඝාණද්වාරික චිත්ත වීථියක් පහළ වන්නේය. එම චිත්තවීථියද චක්ඛුද්වාරික චිත්තවීථිය මෙනි. චක්ඛු විඤ්ඤාණය වෙනුවට ඝාණ විඤ්ඤාණය යොදාගත් කල්හි ඝාණද්වාරික චිත්ත වීථියේ උපදින වීථි සිත් දත හැකි වේ.
ඝාණද්වාරික සිත්ද සසාළිසකි. (46) එනම් පඤ්චද්වාරාවජ්ජනය, ඝාණ විඤ්ඤාණ දෙසිතය. සම්පටිච්ඡන දෙසිතය. සන්තීරණ සිත් තුනය, වොට්ඨපන සිතය, ජවන් සිත් විසි නවය, තදාරම්මණ සිත් එකොළොසින් සන්තීරණ සිත් තුන හැර ඉතිරි මහා විපාක සිත් අටය යන සසාළිස් චිත්තයෝයි. මෙයින් එක් ඝාණද්වාරික චිත්ත වීථියක යෙදෙන වැඩිම ද්වාරික සිත් ගණන තුදුසකි. (14)
ජිව්හාද්වාරික සිත්
ජිව්හාද්වාරයෙන් රස අරමුණක් ගත් කල්හි ජිව්හාද්වාරික චිත්ත වීථියක් පහළ වන්නේය. එම චිත්ත වීථියද චක්ඛුද්වාරික චිත්තවීථියට සමානය. චක්ඛු විඤ්ඤාණය වෙනුවට ජිව්හා විඤ්ඤාණය යොදාගත් කල්හි ජිව්හාද්වාරික චිත්තවීථියේ උපදින ද්වාරික සිත් දත හැකිවේ.
ජිව්හාද්වාරික සිත්ද සසාළිසකි. (46) එනම්, පඤ්චද්වාරාවජ්ජනය, ජිව්හා විඤ්ඤාණ දෙසිතය, සම්පටිච්ඡන දෙසිතය, සන්තීරණ සිත් තුනය, වොට්ඨපන සිතය, ජවන් සිත් විසිනවය, තදාරම්මණ සිත් එකොළොසින් සන්තීරණ සිත් තුන හැර ඉතිරි මහා විපාක අටය යන සසාළිස් චිත්තයෝයි. මෙයින් එක් ජිව්හාද්වාරික චිත්ත වීථියක යෙදෙන වැඩිම ද්වාරික සිත් ගණන තුදුසකි. (14)
කායද්වාරික සිත්
කායද්වාරයෙන් පොට්ඨබ්බ අරමුණක් ගත් කල්හි කායද්වාරික චිත්තවීථියක් පහළවන්නේය. එම චිත්ත වීථියද චක්ඛුද්වාරික චිත්තවීථියට සමානය. චක්ඛු විඤ්ඤාණය වෙනුවට කාය විඤ්ඤාණය යොදාගත් කල්හි කායද්වාරික චිත්තවීථියේ උපදින ද්වාරික සිත් දත හැකිවේ.
කායද්වාරික සිත්ද සසාළිසකි. (46) එනම්, පඤ්චද්වාරාවජ්ජනය, කායවිඤ්ඤාණ දෙසිතය, සම්පටිච්ඡන දෙසිතය, සන්තීරණ සිත් තුනය, වොට්ඨපන සිතය, ජවන් සිත් විසිනවය, තදාරම්මණ සිත් එකොළොසින් සන්තීරණ සිත් තුන කලින් ගත් බැවින් එය හැර ඉතිරි මහා විපාක අටය යන සසාළිස් චිත්තයෝයි. මෙයින් එක් කායද්වාරික චිත්ත වීථියක යෙදෙන වැඩිම ද්වාරික සිත් ගණන තුදුසකි. (14)
මනොද්වාරික සිත්
මනොද්වාරයෙන් හෙවත් සිතින්ම ගනු ලබන ධම්මාරම්මණ යක් ගත්කල්හි මනොද්වාරික චිත්ත වීථියක් පහළ වන්නේය. භවඞ්ග සිත් පරම්පරාවට ධම්මාරම්මණයක් හමුවූ කල්හි භවඞ්ග චලනය ඇතිවී, භවඞ්ගුපච්ඡෙද සිතින් භවඞ්ග අරමුණ ඉවත් වූ කල්හි මනොද්වාරාවජ්ජන සිත ආවර්ජන කෘත්‍යය සිද්ධ කරමින් උපදින්නේය. මේ චිත්ත වීථියේ පළමුවන ද්වාරික සිත මනොද්වාරාවජ්ජන සිතය. එයට අනතුරුව ජවන් සිත් සතක් පහළවී තදාරම්මණ දෙසිතින් චිත්ත වීථිය අවසන් වන්නේය.
මනොද්වාරික සිත් සැට සතකි. (67) එනම්:— මනොද්වාරාවජ්ජනය, කාමජවන් විසිනවය, මහග්ගතජවන් අටළොස, ලොකොත් තර ජවන් අටය යන ජවන් සිත් පස් පනසය (55), තදාරම්මණ සිත් එකොළොසය යන සැට සතක් චිත්තයෝයි. මෙයින් එක් මනොද්වාරික චිත්ත වීථියක යෙදෙන වැඩිම ද්වාරික සිත් ගණන දසයකි. එනම් මනොද්වාරාවජ්ජනය, ජවන් සිත් සත සහ තදාරම්මණ දෙසිතය.