සෝතද්වාරය
ශබ්ද අරමුණු වැදගන්නා වූ ද, සෝතවිඤ්ඤාණය හට ගැනීමට උපකාර වන්නාවූද, සසම්භාර සෝතය ඇසුරු කොට පවත්නා වූ ද, මහාභූත රූපයන්ගේ ප්‍රසාදය නම් වූ ඉතා සියුම් රූප පරමාර්ථ ධාතුව හෙවත් සෝතප්රසාදය, සෝතද්වාර නම් වේ.
සසම්භාර ශ්‍රෝතය, ප්‍රසාද සෝතය යයි ශ්‍රෝතය දෙ වැදෑරුම් වේ.
කන්බිල තුළ පිහිටි, මුදුවක් බඳු සියුම් තඹවන් ලෝම ඇති සතරමහාභූත රූපාදීන්ගෙන් සෑදුනු කණ නම් වූ අවයවය සසම්භාර ශ්‍රෝතය නම් වේ.
සසම්භාරසෝතය ඇසුරු කොට ගෙන පවත්නාවූ ද, කම්මසමුට්ඨාන වූ සෝතදසක රූපකලාපයන්හි ඇතුළත්වූ ද, සෝතවිඤ්ඤාණයට නිශ්‍රය වන ඔපය හෙවත් පැහැය නම් වූ රූපපරමාර්ථධාතුව සෝතප්රසාදය නම් වේ. ශබ්දාරම්මණයන් ඇතුල්වීමට හෙවත් වැදගැනීමට උපකාර වන බැවින් මේ සෝතප්රසාදයටම සෝතද්වාර යයි කියනු ලැබේ. මෙසේ වැදගත් ශබ්දාරම්මණය එල්බ ගෙන සෝතවිඤ්ඤාණය ඉපදීමට ස්ථාන වන බැවින් එයට සෝතවස්තුව යයි ද කියනු ලැබේ. සෝතෙන්ද්‍රිය යයි ද එයට නමෙකි.