අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අකුසල් සිත් දොළොසෙහි සංග්‍රහ නය

ලෝහමූල අටය, දොසමූල දෙකය, මෝහමූල දෙකය යයි අකුසල් සිත් දොළොසෙකි. මේ සිත්හි යෙදෙන චෛතසිකයෝ කවරහු දැ යි සෙවීමේ දී අන්‍ය සමාන තෙළෙසත්, අකුසල චෛතසික තුදුසත් යන සත්විසිදෙනා අතුරෙන් ම සෙවිය යුතු වේ. පස්විසි සොභන චෛතසිකයන් අත්හැරිය යුතුයි.

සියලුම අකුසල් සිත්හි සබ්බචිත්ත සාධාරණයෝ සත් දෙනාත්, විතක්ක, විචාර, වීරිය යන ප්‍රකීර්ණකයෝ තිදෙනාත්, මෝහ චතුෂ්කය එනම්: මෝහය, අහිරිකය, අනොත්තප්පය, උද්ධච්චය යන සතර දෙනාත්, යන මෙකී චෛතසික දහහතර ඒකාන්තයෙන් ම ලැබෙන්නාහ.

ලෝහමූල සිත් අටෙහි ලෝභය ඒකාන්තයෙන් ලැබෙන නිසා නියතය. දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරෙහි දිට්ඨිය නියත වශයෙන් ම යෙදෙන්නේ ය. දිට්ඨිගත විප්පයුත්ත සිත් සතරහි මානය අනියතයොගී වේ. සොමනස්ස සිත් හි ලැබෙන ප්‍රීතිය, උපෙක්ඛා සිත්හි නො ලැබේ. සසංඛාරික අකුසල් සිත්හි ථීනයත්, මිද්ධයත් අනියත වශයෙන් ලැබේ.

දොමනස්ස පටිඝ සිත් දෙකෙහි ද ප්‍රීතිය නො ලැබේ. දෝෂය නියත වශයෙන් ලැබේ. ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච යන චෛතසික තුන අනියතයොගී වේ. ථීනයත්, මිද්ධයත්, සසංඛාරික සිතෙහි අනියත යොගී වේ.

මෝහමූල සිත් දෙක අතුරෙන් විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතෙහි පමණක් විචිකිච්ඡා චෛතසිකය නියත වශයෙන් යෙදෙන්නේ ය. එම නිසා ඒ සිතෙහි අධිමොක්ඛය නො ලැබේ. උපෙක්ඛා වෙදනා ඇති හෙයින් ප්‍රීතිය ද නැත. මෝහමූල දෙසිතෙහි ඡන්දය ද නො ලැබෙන්නේ ය.

අකුසල් සිත් දොළොසෙහි චෛතසිකයන් දැක්වීමේ පහසුව සඳහා ලෝහමූල දොසමූල සිත් දසයම අසංඛාරික සිත් පසය සසංඛා රික සිත් පසය යයි බෙද දක්වනු ලැබේ, මොහමූල සිත් දෙක වෙන් වෙන් වශයෙන් ගෙන සංග්‍රහ කරනු ලැබේ.