නමො භගවතො සම්බුද්ධස්ස
දශ අශුභයනට අනතුරු වැ දශ අනුස්මෘති දක්වනු ලැබේ. අනුස්මෘති නම් නැවත නැවත සිහි කිරීම ය. ස්මෘතිය ම නැවත නැවත උපදනා බැවින් අනුස්මෘතිය යි කී සේ ය. තවද අනුරූප වූ යෝග්‍ය වූ ස්මෘතිය හෝ අනුස්මෘතිය පැවතිය යුතු තන්හිම පවත්නා බැවින් සැදැහැයෙන් සසුන් වන් කුලදරුවා හට යෝග්‍ය වූ ස්මෘතිය ස්මෘතියයි කී සේයි.
ඒ දස වැදෑරුම් ය.
1. බුදුන් අරබයා උපන් අනුස්මෘතිය බුද්ධානුස්මෘතිය යි. එනම් බුද්ධ ගුණ අරමුණු කොට ඇති සිහිය යි.
2. ධර්‍මය අරබයා උපන් අනුස්මෘතිය ධර්‍මානුස්මෘතිය යි. එනම් “ස්වාක්ඛාතො භගවතො ධම්මො” යනාදීන් ධර්‍ම ගුණ අරමුණු කොටැ ඇති සිහිය යි.
3. සංඝයා අරබයා උපන් අනුස්මෘතිය සංඝානුස්මෘතිය යි. එනම් “සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝො” යනාදීන් සංඝ ගුණ අරමුණු කොටැ ඇති සිහිය යි.
4. ශීලය අරබයා උපන් අනුස්මෘතිය ශීලානුස්මෘතිය යි. එනම් තමන්ගේ අඛණ්ඩ - අච්ඡිතාදි ශීල ගුණ අරමුණු කොටැ ඇති සිහිය යි.
5. ත්‍යාගය අරබයා උපන් අනුස්මෘතිය ත්‍යාගානුස්මෘතිය යි. තමන්ගේ “මුත්තචාගො - පයතපාණි” යනාදි ත්‍යාග ගුණ අරමුණු කොටැ ඇති සිහිය යි.
6. දෙවියන් අරබයා උපන් අනුස්මෘතිය දේවතානුස්මෘතිය යි. එනම් දෙවියන් ශාක්‍ෂ්‍ය කොටැ තමා තමන්ගේ ශ්‍රද්ධාදි ගුණ අරමුණු කොටැ ඇති සිහිය යි.
7. මරණය අරබයා උපන් ස්මෘතිය මරණානුස්මෘතිය යි. එනම් ජීවිතින්‍ද්‍රියෝපච්ඡෙදය අරමුණු කොටැ ඇති සිහිය යි.
8. කේසාදි භේද ඇති රූපකාය කරා හෝ රූපකායයෙහි හෝ ගිය ස්මෘතිය කායගතා සතිය යි. “කායගත සති” ය යි කිය යුතු තන්හි භ්‍රස්ව නො වැ කායගතා සතිය යි කියන ලදි. ඒ නම් කේසාදි කාය කොට්ඨාස නිමිති (අරමුණු) කොටැ ඇති සිහිය යි.
ආශ්වාස-ප්‍රශ්වාස ආණාපාණ නමි. ඒ ආණාපාණ අරබයා උපන් ස්මෘතිය ආණපාණ ස්මෘතිය යි. එනම් හුස්ම ඉහළට ගැනීම් පහළට හෙළීම් අරමුණු කොටැ ඇති සිහිය යි.
10. නිර්‍වාණය උපසම නම. ඒ නිර්‍වාණ සංඛ්‍යාත උපසමය අරබයා උපන් අනුස්මෘතිය උපසමානුස්මෘතිය යි. එනම් සර්‍ව දුඃඛෝපසමය අරමුණු කොටැ ඇති සිහිය යි.
මේ දශවිධ අනුස්මෘති අතුරෙන් බුද්ධානුස්මෘතිය භාවනා කරනු කැමති අචලප්‍රසාදයෙන් යුත් යොගී විසින් යට දැක්වුණු සේ සුදුසු සෙනසුනෙක විසුම් ගෙනැ රහසිගත වැ විවේක වැ “ඉති පි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාදරණ සම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්‍ථා දෙවමනුස්සානංං බුද්ධො භගවා”[1] යි භගවත් බුදුරජාණන්ගේ ගුණ සිහිකළ යුතු යි. එහි ක්‍රමය මෙසේ ය.
-
අ:නි: ඡක්කනිපාත 516 ↑