තථාගතයන් වහන්සේ ගුණයෙන් තමන්වහන්සේට වඩා විශිෂ්ටතර වූ කිසිවකු නැති බැවින් අනුත්තර වන සේක.
ඒ එසේ මැ යි :- උන්වහන්සේ ශීල ගුණයෙන් ද, සමාධි ගුණයෙන් ද, ප්‍රඥා ගුණයෙන් ද, විමුක්ති ගුණයෙන් ද, විමුක්ති ඥානදර්‍ශන ගුණයෙන් ද යන සියලු ගුණයෙන් සියලු ලෝකය මැඩ සිටින සේක. උන්වහන්සේ ඒ ශීලාදි ගුණයෙන් තමන් හා සමයක්හු නැති බැවින් අසම සේක. අසම වූ අතීත බුදුවරයන් හා සම බැවින් අසමසම සේක. තමන් රුව බඳු ප්‍රතිමා ද නො කට හැකි බැවින් අප්‍රතිම සේකත වදාළ “සතිපට්ඨානාදි ධර්‍ම එසේ නොවේය” යි පෙරලා ප්‍රතිපක්‍ෂ විය හැකි පුද්ගලයකු නැති බැවින් අප්‍රතිභාග සේක. “තෝ බුදු නොවෙයි මම බුදුමි”යි සිටිය හැකි ප්‍රතිපක්‍ෂ පුද්ගලයකු නැති බැවින් අප්‍රතිපුද්ගල සේක. (මෙහි ශීලාදි ගුණයෝ ලෞකික ලෝකෝත්තර මිශ්‍රයහ. විමුක්තිඥාන දර්‍ශනය වනාහි ලෞකික ම වේ. කාමාවචර ම වේ. එසේ කල්හි “සදෙවකං ලොකං අභිභවති” යනු කෙසේද යත්? අනුභාවයෙන් අසදෘශ බැවිනි. හෙතෙමේ විෂය හෙයින් ප්‍රවෘත්ති ආකාර හෙයින් උත්තරීතර වූයේ අනන්‍ය සාධාරණ වූයේ තථාගතයන් ගේ විමුක්ති ගුණය අරමුණු කොටැ පවත්ති. පවත්නේ ද ප්‍රතිපක්‍ෂයන් සුප්‍රහීණ බැවින් අතර්‍කාවචර වූ පරම ගම්භීර වූ සූක්‍ෂම විෂය මනාකොට ප්‍රකට ම කෙරෙමින් පවත්නේ ය. මනාකොටැ වසීතාවයට පැමිණ වූ බැවිනුදු භවාඞ්ග පරිවාසය අපරිත්‍යක්ත බැවිනුදු ලඝුවැ පවත්ති යනු සන්න යි.)
වදාළේ මැයි
“න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය අත්තනා සීලසම්පන්තතරං”[1] යනාදීන්.
‘දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් - දෙවි - මිනිසුන් සහිත ප්‍රජායෙහි මට වඩා ශීල සම්පන්නතරයකු මම නොදක්නෙමි.’ යනු එහි අර්‍ථ යි. සමාධි - ප්‍රඥා විමුක්ති විමුක්ති ඥානදර්‍ශන පිළිබඳව ද මෙසේ මැ යි.
අග්ගප්පසාද සූත්‍රාදියෙනුදු මේ අර්‍ථය දැක්විය යුතු. “යාවතා භික්ඛවෙ සත්තා අපදා වා ද්‍විපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා තථාගතො තෙසං අග්ග මක්ඛායති අරහං සම්මා සම්බුද්ධො, යෙ භික්ඛවෙ බුද්ධෙ පසන්තා අග්ගෙ තෙ පසන්තා අග්ගෙ ඛොපන පසන්තානං අග්ගො විපාකො හොති” යනු “අග්ගප්පසාද”[2] සූත්‍ර යි. ‘මහණෙනි! අපාද වූ හෝ ද්විපාද වූ හෝ චතුෂ්පාද වූ හෝ බහුපාද වූ හෝ රූපී වූ හෝ අරූපී වූ හෝ සඤ්ඤි වූ හෝ අසඤ්ඤී වූ හෝ නේවසඤ්ඤීනාසඤ්ඤී වූ හෝ යම් පමණ සත්ත්‍ව කෙනෙක් වෙද් ද තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ ඒ සියලු සත්ත්‍වනට අග්‍රයහීයි කියනු ලැබෙති. මහණෙනි! යම් කෙනෙක් බුදුන් කෙරෙහි පහන් වුහු නම් ඔව්හු අග්‍රයෙහි පහන් වූවෝ ය.
“න මෙ ආවරියො අත්‍ථි - සදිසො මෙ න විජ්ජති
සදෙවකස්මිං ලොකස්මිං - නත්‍ථි මෙ පටිපුග්ගලො”[3]
යන ගාථායෙනුදු මේ අර්‍ථය දැක්විය යුතු ය. “මට ආචාර්‍ය්‍යයෙක් නැත. මට සමානයෙක් ද නැත. දෙවියන් සහිත ලෝකයෙහි මට ප්‍රතිවිරුද්‍ධයෙක් ද නැත” යනු එහි අර්‍ථ යි.