ත්‍යාගානුස්මෘතිය වඩනු කැමැති යෝගී විසින් ස්වභාවයෙන් ම දන් දීමෙහි සෑදුණකු පැහැදුණකු විය යුතු. දන් දීමෙහි දානසංවිභාගයෙහි නිතර යෙදුණකු විය යුතු.
තව ද ත්‍යාගානුස්මෘති භාවනාව වඩනු කැමැති යෝගී විසින් ඒ භාවනාව ආරම්භ කරන දිනයෙහි “දැන් ඉතින් මෙ තැන් පටන් ප්‍රතිග්‍රාහකයකු ලදහොත් එක් පිඬකුදු නො දී නො වළඳමි”යි සමාදන් වැ ගෙනැ එ දින ම ගුණවත් ප්‍රතිග්‍රාහකයකු හට ස්වකීය ශක්ති පරිදි - ස්වකීය බල පරිදි දානයක් දී ඒ දුන් දානය නිමිති කොටැ ගෙනැ රහසිගත වැ විවේක වැ හිඳැ “ලාභා වත මෙ! සුලද්ධං වත මෙ! සො‘හං මච්ඡෙරමලපරියුට්ඨිතාය පජාය විගතමලමච්ඡෙරෙන චෙතසා විහරාමි මුත්තචාගො පයත පාණී වොස්සග්ගරතො යාචයාගො දානසංවිභාගරතො[1]” යි මෙසේ විගතමලමචේඡරතාදි ගුණ වශයෙන් ස්වකීය ත්‍යාගය මෙනෙහි කළ යුතු යි.
ලාභා වත මෙ - මට ඒකාන්තයෙන් ලාභයෙක. “ආයුං ඛොපන දත්‍වා ආයුස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා.”[2] ‘ආයුෂ දී දිව්‍යමය වූ ද, මනුෂ්‍යමය වූ ද ආයුෂයට භාගී වන්නේ ය’ යනාදි වශයෙන් ද “දදං පියො හොති භජන්ති නං බහූ”[3] ‘දන්දෙන්නේ ලොවට ප්‍රිය වන්නේ ය, ඔහු බොහෝ දින භජනය කරන්නාහ යනාදි වශයෙන් ද “දදමානො පියො හොති සතං ධම්මමනුකම්මං”3 ‘සත්පුරුෂයන්ගේ ධර්‍මය නොඉක්මවන්නේ දන් දෙන්නේ ලොවට ප්‍රිය වන්නේ ය’ යනාදි වශයෙන් ද භගවත් බුදුන් විසින් දන් දෙන්නහු පිළිබඳ යම් ලාභ කෙනෙක් වර්‍ණනා කරන ලද නම් ඒ ලාභ මට ඒකාන්තයෙන් වන්නේ ය යන අදහස යි.
සුලද්ධං වත මෙ - ‘මා විසින් යම් බුදු සස්නෙක් හෝ මිනිසත් බවෙක් හෝ ලබන ලද නම් එය ඒකාන්තයෙන් මනා වැ ලබන ලද්දේ ය, කුමක් හෙයින් ද මසුරුමලින් අභිභූත සත්ත්‍වයන් අතුරෙහි මම මසුරුමලින් මිදී ගත් සිතින් වසමි, මුත්තචාගයෙමි, පයතපාණියෙමි, වොස්සග්ගරතයෙමි, යාචයෝගයෙමි, දාන සංවිභාගරතයෙමි, එහෙයිනි.
සො’හං - ඒ මම
මච්ඡෙරමල පරියුට්ඨිතාය පජාය - මසුරුමලෙන් අභිභූත වූ සත්ත්‍වයන් අතුරෙහි (ස්වකීය සම්පත් අන්‍යයන් හා සාධාරණ බව නො ඉවසීම ලක්‍ෂණ කොටැ ඇති මසුරු බව සිතෙහි දීප්තිය දුෂ්‍ය කරන පාප ධර්‍ම අතුරෙන් එකක් බැවින් මලය යි කියනු ලැබේ.)
විගතමල මච්ඡෙරෙන චෙතසා විහරාමි - සෙසු රාගදෝසාදි මල ද මසුරු බව ද විගත වූ සිතින් යුතු වැ වාසය කරමි. මහානාම සූත්‍රයෙහි වනාහි, “විගතමල මච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවාසාමි”[4]යි වදාළේ ය. එහි එසේ වදාළේ මහානාම ශාක්‍යයා විසින් සෝවාන් වූවහුගේ නිශ්‍රය විහාර විචාළ බැවින් එයට අනුරූප වශයෙනි.
මුත්තචාගො - දෙන දෙය අල්ලා නො ගැනීම් වශයෙන් මුදා හරන ලද ත්‍යාග ඇත්තේ, යමෙක් කිසිවක් දෙන්නේ සාපෙක්‍ෂ වැ දේ නම් ඒ මුත්තචාග නො වේ.
පයතපාණි - පිරිසිදු කර ගත් අත් ඇත්තේ සියතින් සකසා දන්දෙනු පිණිස ඇම දා සෝදා ගත් අත් ඇත්තේ ය යි සේ යි.
වොස්සග්ගරතො - වොස්සග්ගයෙහි ඇළුණේ. වොස්සග්ග නම් පරිත්‍යාගය යි සත්තාභියොග වශයෙන් පරිත්‍යාගයෙහි ඇළුණේ ය යි සේ යි.
යාචයොගො - අන්‍යයන් විසින් ඉල්ලූ දෙය දෙන බැවින් යාචනයට යෝග්‍ය ය “යාජයොග” යි ද මේ ලියති. යජනන් දීමෙන් යුක්ත වූ යේ ය යනු අර්‍ථ යි.
දාන සංවිභාගරතො - දානයෙහි ද, සංවිභාගයෙහි ද ඇළුණේ මම දන් ද දෙමි. මා විසින් පරිභෝග කළ යුත්තෙන් කොටස් ද බෙදමි යි මෙසේ දෙක්හි මැ ඇළුණේය යි සේ යි.
මෙසේ විගතමල මච්ඡේරතාදි වසයෙන් ස්වකීය ත්‍යාග ගුණය සිහි කරත් ම ඒ යෝගීහුගේ සිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අභිභූත නො වන්නේ ය. ත්‍යාගය අරමුණු කොටැ ඔහුගේ සිත එ කල්හි සෘජු වන්නේ ය. පෙර සේ නීවරණ විෂ්කම්භනය වත් ම ධ්‍යානාඞ්ග උපදනේ ය. ත්‍යාග ගුණ ගැඹුරු බැවින් ද ‘නානාවිධ ත්‍යාග ගුණ සිහිවන බැවින් ද ධ්‍යානය අර්පණා ප්‍රාප්ත නො වැ උපචාර ප්‍රාප්ත ම වන්නේ ය. ත්‍යාග ගුණය සිහි කිරීමෙන් ්ලත් බැවින් එය ත්‍යාගානුස්මෘතිය යි කියනු ලැබේ.
මේ ත්‍යාගානුස්මෘතියෙහි යෙදුණු යෝගාවචර බොහෝ සෙයින් ත්‍යාගාධිමුක්ත වේ. නිර්‍ලොභ අදහස් ඇත්තේ වේ. මෛත්‍රියට අනුලොම් වැ හැසිරේ. විශාරද වේ. ප්‍රීති ප්‍රමොද්‍ය බහුල වේ. මතු ධ්‍යාන - මාර්‍ග ඵල නො ලබන්නේ සුගති පරායන වේ.
“තස්මා භවෙ අප්පමාදං - කයිරාථ සුමෙධසො
එවං මහානුභාවාය - චාගානුස්සතියා සදා”
‘එසේ හෙයින් මහත් අනුභාව ඇති ත්‍යාගානුස්මෘතිය සඳහා සුප්‍රාඥ ඒකාන්තයෙන් අප්‍රමාද වන්නේ ය’
ත්‍යාගානුස්මෘති භාවනා විධිය යි.