දේවතානුස්මෘතිය වඩනු කැමැති යෝගී ආර්‍ය්‍ය මාර්‍ග වශයෙන් අධිගත ශ්‍රද්ධාදි ගුණයෙන් යුක්ත විය යුතු. එසේ වූ ඔහු විසින් රහසිගත වැ විවේක වැ හිඳැ චාතුර්‍මහාරාජික නම් දෙවියෝ ඇත්තාහ. තාවතිංස නම් දෙවියෝ ඇත්තාහ. යාම - තුසිත - නිම්මාණරති - පරනිම්මිතවසවත්ති නම් දෙවියෝ ඇත්තාහ. බ්‍රහ්මකාහික දෙවියෝ ඇත්තාහ. එයින් මතු පරිත්තාභාදි තව ද දෙවියෝ ඇත්තාහ. යම් බඳු වූ ශ්‍රද්ධාවෙකින්, ශීලයෙකින්, ශ්‍රැතියෙකින්, ත්‍යාගයෙකින්, ප්‍රඥාවෙකින් සමන්විත වැ ඒ දෙවියෝ මෙයින් චුත වැ එහි උපන්නාහු ද මට ද එ බඳු වූ ශ්‍රද්ධා - ශීල - ශ්‍රැත - ත්‍යාග - ප්‍රඥා ඇත්තේ ය’යි මෙසේ දෙවියන් ශාක්‍ෂ්‍ය තබා තමන් ගේ ශ්‍රද්ධාදි ගුණ සිහි කළ යුතු යි.
සූත්‍රයෙහි :- “යස්මිං මහානාම සමයෙ අරියසාවකො අත්තනො ච තාසං ච දෙවතානං සද්ධං ච සීලං ච සුතං ච චාගං ච පරිඤ්ඤං ච අනුස්සරති, නෙව තස්මිං සමයෙ රාග පරියුට්ඨිත චිත්තං හොති”[1] ‘මහානාමය! යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවක තමාගේ ද, ඒ දෙවියන්ගේ ද ශ්‍රද්ධා-ශීල-ශ්‍රැත-ත්‍යාග-ප්‍රඥා සිහි කෙරේ ද එකල ඔහුගේ චිත්තය රාගාභිභූත නො වේ’ ය යි වදාළ නමුදු දෙවියන්ගේ ඒ ශ්‍රද්ධාදි ගුණ ශාක්‍ෂ්‍ය කොටැ ගත යුතු යි. සූත්‍රයෙහි එසේ වදාළේ දෙවියන්ගේ ශ්‍රද්ධාදි ගුණ තමාගේ ශ්‍රද්ධාදි ගුණ හා සම බව දක්වනු පිණිස ය. “දේවතා සක්ඛිට්ඨානෙ ඨපෙත්‍වා අත්තනො ගුණෙ අනුස්සරති.” ‘දෙවියන් ශාක්‍ෂ්‍ය තන්හි තබා තමා ගුණ සිහි කෙරේය’ යි අටුවායෙහි එය ස්ථිර වශයෙන් කියන ලදි. එහෙයින් දෙවියන් ගේ ශ්‍රද්ධාදි ගුණ සිහි කොටැ පසු වැ තමාගේ ශ්‍රද්ධාදි ගුණ සිහි කළ යුතු යි. එසේ සිහි කරත් ම ඔහුගේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අභිභූත නො වේ. එකල දෙවියන් අරබයා ඔහුගේ සිත සෘජු ම වේ. එයින් පෙර කී සේ නීවරණ විෂ්කම්භන වේ. එවිට ම ධ්‍යානාඞ්ග උපදී. ශ්‍රද්ධාදි ගුණ ගැඹුරු බැවින් ද, නානාවිධ ගුණ සිහිවන බැවින් ද ධ්‍යානය අර්පණා ප්‍රාප්ත නො වැ උපාචාර ප්‍රාප්ත ම වන්නේ ය. එය වනාහි දෙවියන්ගේ බඳු තමන්ගේ ගුණ සිහි කරන බැවින් දේවතානුස්මෘතිය යි කියනු ලැබේ.
දේවතානුස්මෘතිය වඩන යෝගාවචර දෙවියන්ට ප්‍රිය වේ. මනාප වේ. බොහෝ සෙයින් ශ්‍රද්ධාදීන්ගේ විපුලත්‍වයට පැමිණේ. ප්‍රීති-ප්‍රමොද්‍ය බහුල වැ වෙසේ. මතු ධ්‍යාන මාර්‍ග-ඵල නො ලබන්නේ - සුගති පරායන වේ.
“තස්මා භවෙ අප්පමාදං - කයිරාථ සුමෙධසො
එවං මහානුභාවාය - දෙවානුස්සතියා සදා”
‘එසේ හෙයින් මහානුභාව ඇති දේවතානුස්මෘතිය සඳහා සුප්‍රාඥ ඒකාන්තයෙන් අප්‍රමාද වන්නේ යි.’
දේවතානුස්මෘති භාවනා විධිය යි.
ඡානුස්සතිය පිළිබඳ විශේෂ විභාගයෙක්
මේ ඡානුස්සතිය පිළිබඳ විස්තරයක් මහානාම සූත්‍රයෙහි වදාළේ ය. එහි බුද්ධානුස්සතිය වදාළ තන්හි “උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති තථාගතං ආරබ්භ”[2] එකල ඔහුගේ සිත තථාගතයන් අරබයා සෘජු ම වන්නේ ය. යනාදීන් වදාරා ඉක්බිති “උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්‍ථවෙද, ලභති ධම්මවෙදං, ලභති දම්මුපසංහිතං පාමුජ්ජං, පමුදිතස්ස පීති ජායති”[3] යනාදීන් වදාළේ ය. ‘මහානාමය! සෘජු සිත් ඇති ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක අත්‍ථවෙදය ලබන්නේ ය. ධම්මවෙදය ලබන්නේය. ධම්මුපසංහිත පාමුජ්ජය ලබන්නේ ය. සමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය, යනු එහි අර්ථ යි.
“අත්‍ථවේදය” නම් “ඉති පි සො භගවා” යනාදියෙහි අර්‍ථය නිසා උපදින සන්තෝෂය යි.
“ධම්මවේදය” නම් එහි පාළිය නිසා උපදින සන්තෝෂය යි.
“ධම්මුපසංහිත පාමුජ්ජය” නම් ඒ අර්‍ථ-ධර්‍ම දෙක ම නිසා උපදින සන්තෝෂය යි.
දේවතානුස්මෘතියෙහි දෙවියන් අරභයා යි වදාළේ පළමු කොටැ දෙවියන් අරබයා පැවැති සිත් වශයෙනි. නොහොත් දෙවියන්ගේ ගුණ බඳු වූ හෝ දිව්‍යභාවය නිපදවන්නා වූ හෝ තමාගේ ගුණ අරභයා පැවැති සිත් වශයෙනි.
මේ ඡානුස්සති සමෘද්ධ වන්නේ ආර්‍ය්‍ය ශ්‍රාවකයන්ට ම ය. කුමක් හෙයින් ද බුද්ධ-ධර්‍ම-සංඝ ගුණ ප්‍රකට වන්නේ ඔවුන්ට ම බැවිනි. අඛණ්ඩ-අච්ඡිද්‍රාදි ගුණ ඇති ශීලයෙන් යුක්ත වන්නෝත් විගතමල මච්ඡේර වූ ත්‍යාගයෙන් යුක්ත වන්නෝත් මහානුභාව ඇති දෙවියන්ගේ ගුණ බඳු ශ්‍රද්ධාදි ගුණයෙන් යුක්ත වන්නෝත් ඔව්හු ය. මහානාම සූත්‍රයෙහි ද ගේධ සූත්‍රයෙහි ද සම්බාධොකාස සූත්‍රයෙහි ද උපොසථ සූත්‍රයෙහි ද එකාදස නිපාතයෙහි ද මේ වදාළේත් ඔවුන් අරභයා ය. එබැවින් ඡානුස්සති සමෘද්ධ වන්නේ ආර්‍ය්‍ය ශ්‍රාවකයන්ට ම ය යි දත යුතු යි. මහානාම සූත්‍රයෙහි සෝවාන් පුද්ගලයාගේ නිශ්‍රය විහාර කෙසේ දැ යි විචාරන ලද බුදුරජාණන් විසින් ඒ දැක්වීම සඳහා ම මේ ඡානුස්සති විස්තර වශයෙන් වදාරන ලද්දේ ය.
ගේධ සූත්‍රයෙහි :- ඉධ භික්ඛවෙ අරියසාවකො තථා ගතං අනුස්සරති, ඉති පි සො භගවා - පෙ - උජුගත මෙ වස්ස තස්මිං සමයෙ චිත්තං හොති, නික්ඛන්තං මුත්තං වුට්ඨි තං ගෙධමහා. ගෙධො’ති ඛො භික්ඛවෙ පඤ්චන්තමෙතං කාමගුණානං අධිවචනං ඉදම්පී ඛො භික්ඛවෙ ආරම්මණං කරිත්‍වා එවමිධෙකච්චෙ සත්තා විසුජ්ඣන්ති”[4] යි අනුස්මෘති වශයෙන් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ සිත පිරිසිදු කොටැ මතු පරමාර්‍ථ විශුද්ධිය ලැබැ ගන්නා පිණිස වදාරන ලද්දේ ය. මහණෙනි! මේ සසුන්හි ආර්‍ය්‍ය ශ්‍රාවක “ඉති පි සො භගවා” යනාදීන් තථාගතයන් වහන්සේ සිහි කරන්නේ ය. එසේ සිහි කරන විට ඔහුගේ සිත සෘජු වන්නේ ය. ගේධයෙන් නික්මෙන්නේ ය. මිදෙන්නේ ය. නැගී සිටින්නේ ය. මහණෙනි! ගේධ යනු පඤ්චකාම ගුණයන්ට නමෙකි. මහණෙනි! මේ අරමුණු කොටැ ද මෙලොව ඇතැම් සත්ත්‍වයෝ විශුද්ධ වෙති, යනු එහි අර්ථ යි.
සම්බාධොකාස සූත්‍රය මහාකාත්‍යායන ස්වාමීන් විසින් වදාරන ලද්දෙකි. එහි ‘අච්ඡරියං ආවුසො! අබ්භූතං ආවුසො! යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්බාධෙ ඔකාසාධිගමො අනුබුද්ධො සත්තානං විසුද්‍ධියා -පෙ- නිබ්බාණස්ස සච්ඡිකිරියාය යදිදං ඡ අනුස්සතිට්ඨානාති. කතමානි ඡ? ඉධාවුසො අරියසාවකො තථාගතං අනුස්සරති - පෙ - එවමිධෙකච්චෙ සත්තා විසුද්‍ධිධම්මා භවන්ති[5] යි ආර්‍ය්‍ය ශ්‍රාවකයා හට ම පරමාර්‍ථ විසුද්ධි ධර්‍මය පිණිස ඔකාසාධිගම වසයෙන් කියන ලද්දේ ය. ‘ඇවැත්නි ආශ්චර්‍ය්‍ය ය! ඇවැත්නි අද්භූතය! සියල්ල දන්නා ඒ අර්‍හත් සම්මා සම්බුදුන් විසින් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස - නිර්‍වාණාවබෝධය පිණිස මේ අනුස්සතිට්ඨාන සය මැනැවින් වදාරන ලද්දේ ය. කවර සයෙක් ද යත්? ඇවැත්නි! මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක “ඉතිපිසො” යනාදීන් තථාගතයන් වහන්සේ සිහි කෙරෙයි. -පෙ- මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ විශුද්ධ වෙති.’ යනු එහි සංක්‍ෂිප්ත අර්ථ යි.
උපොසථ සූත්‍රයෙහි “කථඤ්ච විසාඛෙ අරියූපොසථො හොති? උපක්කිලිට්ඨස්ස විසාඛෙ චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච විසාඛෙ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ විසාඛෙ අරිය සාවකො තථාගතං අනුස්සරති.”[6] යනාදීන් පෙහෙවගත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා හට ම චිත්ත විශෝධන කර්‍මස්ථාන වශයෙන් පෙහෙවස්හි මහත් ඵල බව දක්වනු සඳහා වදාරන ලද්දේ ය.
විශාඛාවෙනි! ආර්‍ය්‍ය උපොසථය වන්නේ කෙසේ ද විශාඛාවෙනි! කිලිටු වූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වන්නේ ය. විශාඛාවෙනි! කිලිටි වූ සිත කෙසේ උපක්‍රමයෙන් පිරිසිදු වන්නේ ද විශාඛාවෙනි! මේ සසුන්හි ආර්‍ය්‍ය ශ්‍රාවක “ඉති පි සො භගවා” යනාදීන් තථාගතයන් වහන්සේ සිහි කරන්නේ ය’ යනු එහි අර්ථ යි.
ඒකාදස නිපාතයෙහි - ‘සද්ධො මහානාම ආරාධකො හොති නො අස්සද්ධො, ආරද්ධවිරියො, උපට්ඨිතසති, සමාහිතො, පඤ්ඤවා මහානාම ආරාධකො හොති නො දුප්පඤ්ඤො. ඉමෙසු ඛො ත්‍වං මහානාම පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය ඡ ධම්මෙ උත්තරිං භාවෙය්‍යාසි. ඉධත්‍වං මහානාම තථාගතං අනුස්සරෙය්‍යාසි ඉති පි සො භගවා”[7] යනාදීන් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ ම විහරණ දැක්වීම පිණිස වදාළේ ය.
“මහානාමය! ශ්‍රද්ධා ඇත්තේ ආරාධක වේ. ශ්‍රද්ධා නැත්තේ ආරාධක නො වේ. පටන් ගත් වීර්‍ය්‍ය ඇත්තේ, එළැඹැ සිටි සිහි ඇත්තේ, සමාධිමත් වූයේ, ප්‍රඥා ඇත්තේ ආරාධක වේ. හළ වීර්‍ය්‍ය ඇත්තේ, මුළා සිහි ඇත්තේ, විභ්‍රාන්ත සිහි ඇත්තේ, ප්‍රඥා රහිත වූයේ ආරාධක නො වේ. මහානාමය! තෙධ් මෙ පස් දහමැ පිහිටා මතු සදහම් වඩ. මහානාමය! තො “ඉති පි සො භගවා” යනාදීන් තථාගතයන් සිහිකර” යනු එහි අර්ථ යි. නානා විහරණයෙන් වසන අප විසින් කෙබඳු විහරණයෙකින් විසිය යුතු දැ යි විචාළ සෝවාන් වූ මහානාම ශාක්‍යයාගේ ප්‍රශ්නයට තථාගතයන් වහන්සේ දී වදාළ පිළිතුර යි.
මේ සියලු නිදර්‍ශනයන්ගෙන් දැක්වූයේ ආර්‍ය්‍ය ශ්‍රාවකයන් විසින් ම ඡ අනුස්සති වැඩිය යුතු බව යි. එසේ වුව ද පිරිසිදු ශීලාදි ගුණ ධර්‍මයෙහි පිහිටි පෘථග්ජනයන් විසින් ද එය වැඩිය යුතු යි. අනුශ්‍රව වශයෙන් වුව ද බුද්ධාදි ගුණ සිහි කරන්නවුන්ගේ සිත පහදින්නේ ය. එයින් නීවරණ මැඩැ ලා මහත් ප්‍රමෝද ලබා ලා කටකන්‍දර වාසී ඵුස්සදේව තෙරුන් මෙන් විවසුන් වඩා රහත් ද වන්නේ ය. ඵුස්සදේව තෙරුන්වහන්සේ මාරයා මවා පෑ බුදු රුව දැකැ “රාග-දෝස-මෝහ සහිත මාරයා මවා ගත් බුදුරුව මෙ සා ශෝභා සම්පන්න නම් රාග-දෝස-මෝහ රහිත උන්වහන්සේගේ රූපය කෙසේ ශෝභා සම්පන්න නො වේ දැ”යි බුද්ධාරම්මණ ප්‍රීති උපදවා විවසුන් වඩා එහි ම රහත් වූ සේක.
සජ්ජන ප්‍රමෝදය පිණිස කළ විශුද්ධි මාර්‍ගයෙහි
සමාධි භාවනාධිකාරයට ඇතුළත් “ඡ අනුස්සති”
නිර්‍දෙශ නම් සත්වන පරිච්ඡේදය යි.