පුරිසධම්මසාරථී

star_outline

“පුරිසදම්මෙ සාරෙතීති පුරිසදම්මසාරථි” පුරුෂ දම්‍යයන් දමනය කට යුතු පුරුෂයන් මෙහෙයයි - දමනය - කරයි - හික්මවයි. යන අර්‍ථයෙන් භාග්‍යවතුන් වහන්සේ පුරිසදම්මසාරථී වන සේක. පුරුෂදම්‍යයෝ නම් නො දැමුණු - දමනය කටයුතු තිරිසන් වූ හෝ මනුෂ්‍ය වූ හෝ අමනුෂ්‍ය වූ හෝ පුරුෂයෝ ය. පිරිමිය. (“දැමිය යුතු මාගමුන් ඇත ද උතුම් හෙයින් පුරුෂයන් ම කීහ.” මාගමුන් දමනය කිරීම කවර අරුමයෙක් ද උන්වහන්සේ පිරිමි දමනය කරන සේක.)

ඒ එසේ මැ යි :- උන්වහන්සේ විසින් අපලාල නාගරාජය, චූලෝදර -මහෝදර නාගරාජයෝ දෙදෙනා ය. අග්ගිසිඛ-ධූමසිඛ නාගරාජයෝ දෙදෙනා ය, ආරවාල නාගරාජය ධනපාලක හස්තිය යන මේ ආදි තිරශ්චීන පුරුෂයෝ දමනය කරන ලද්දෝ ය. විෂ නැති කොටැ සරණයෙහි ද, ශීලයෙහි ද පිහිටුවන ලද්දෝය. (මෙහි අපලාල නම් නාරජ හිමවත වෙසෙයි. චූලොදර - මහොදර දෙදෙනා නාදිව වෙසෙත්. අග්ගිසිඛ-ධූමසිඛ දෙදෙන හෙළදිව වෙසෙත් යනු සන්නයි)

එසේ ම උන්වහන්සේ විසින් සච්චක නිගණ්ඨය, අම්බට්ඨ මානවකය, පොක්ඛරසාති, සෝණදණ්ඩ, කූටදන්ත බ්‍රාහ්මණයෝ ය යනාදි මනුෂ්‍ය පුරුෂයෝ ද, ආලවක, සුචිරොම, ඛරරොම යක්ෂයෝ ය, සක්දෙව් රජය, බකබ්‍ර‍හ්මය යනාදි අමනුෂ්‍ය පුරුෂයෝ ද විචිත්‍ර‍ වූ විනයන උපායයෙන් දමනය කරන ලද්දෝය. “අහං ඛො කෙසි! සණ්හෙන පි විනෙමි, ඵරුසෙන පි විනෙමි, සණ්හඵරුසෙන පි විනෙමි”[1] යනාදි සූත්‍ර‍ ඊට සාධකයි. ‘කෙසි! මම සියුම් ක්‍ර‍මයෙන් ද, පරුෂ ක්‍ර‍මයෙන් ද, සියුම් වූ ද පරුෂ වූ ද ක්‍ර‍මයෙන් ද ඔවුන් හික්මවමි’ යනු එහි අර්‍ථ යි.

තවද උන්වහන්සේ අදමිතයන් මතු දමනය කරන සේක් නොවෙති. දමිතයන් ද දමනය කරන සේක. විශුද්‍ධ ශීලාදියෙන් යුක්තයනට ප්‍ර‍ථමධ්‍යානාදිය දෙවාවදාරමින් ද, සෝවාන් ආදීන්ට මතු මතු මාර්‍ගප්‍ර‍තිපදා දෙවාවදාරමින් ද හික්මවන සේක.

“අනුත්තරො පුරිසදම්ම සාරථි”

අනුත්තරය, පුරිසදම්මසාරථිය යි යට අර්‍ථ දෙකක් වශයෙන් ගෙනැ විස්තර කළහ. මේ පද දෙකින් එක ම අර්‍ථය ද දැක්විය හැකි ය. භාග්‍යවතුන් වහන්සේ “අනුත්තර-පුරුසදම්මසාරථී” වන සේක. යනු වශයෙනි. හස්තිදම්‍ය සාරථීහු දමනය කටයුතු ඇතුන් එක් දිගකටම දුවවති එයින් ඒ ඇත්තු ඒ දිගටම දුවති. ඒ හස්ති දම්‍ය සාරථීහු අනුත්තර නො වෙති. භාග්‍යවතුන් වහන්සේ එක පර්‍ය්‍යඞ්කයෙහි උන් පුරුෂයදම්‍යයෝ යම් සේ අට දිගට ම නොලැගෙමින් දුවත් ද එසේ දුවවන සේක. හික්මවන සේක. එහෙයින් උන්වහන්සේ අනුත්තර පුරුසදම්ම සාරථී වන සේක. “හත්‍ථිදමකෙන භික්ඛවෙ හත්‍ථිදම්මො සාරිතො එකං එව දියං ධාවති”[2] යනාදි සූත්‍ර‍ය එයට සාධක යි. ‘මහණෙනි! ඇතුන් දමනය කරන්නා විසින් මෙහෙයන ලද හස්තිදම්‍යයා එක දිශාවකට ම දුවයි, යනු එහි අර්‍ථ යි. මෙහි අට දිශා නම් අෂ්ට සමාප්තතිය. (“අට්ඨදිසා යනුදු නිදර්‍ශන මාත්‍ර‍ යි. ලෞකිකයන් විසින් අගත පූර්‍ව වූ නිරොධ සමාපත්ති දිගට ද, නිර්‍වාණ දිගට ද දිවන හෙයින්” යනු සන්න යි. පර්‍ය්‍යඞ්ක යන්නෙන් මෙහි ඉරියව් කියන ලදැයි දත යුතු.

  1. අ:නි: චතුක්කනිපාත 262

  2. ම: නි: සළායතනව: 231