බුද්ධො

star_outline

දත යුතුය යන යමෙක් ඇත්තන් ඒ සියල්ල අවබෝධ කළ බැවින් භාග්‍යවතුන් වහන්සේ විමොක්‍ෂාන්තිකඥාන වශයෙන් බුද්ධ නම් වන සේක. (“සියලු කෙලෙසුන් කෙරෙන් මුක්ත වන හෙයින් රහත් මඟ විමොක්‍ෂ නම. විමොක්‍ෂාවශාන යෙහි උපදනා බැවින් රහත් ඵලය විමොක්‍ෂාන්ත නම රහත් ඵලය ලද කල ලැබිය යුතු බැවින් සව්නේ දන්නා නුවණ විමොක්ඛන්තික ඤාණ නමි. ඒ නුවණින් බුද්ධ නම් විය යන අර්‍ථ යි” යනු සන්න යි) සම්බුද්ධ - යන දෙපාදයාගේ අර්‍ථ විශේෂය සන්නයෙහි මෙසේ දක්වති. ‘සම්බුද්ධො යන මෙයින් සංක්‍ෂේපයෙනුදු විස්තරයෙනුදු ශාස්තෘහුගේ චතුස්සත්‍යාවබෝධය උක්ත ය. බුද්ධො යන මෙයින් වනාහි තදන්‍යඥෙයයාගේ අවබෝධය උක්ත යි. පූර්‍ව වචනයෙන් හෝ ශාස්තෘහුගේ ප්‍ර‍තිවේධ ඥානානුභාවය දර්‍ශත ය. පශ්චිම පදයෙන් දේශනා ඥානානුභාවය දර්ශිතය යි වක්‍ෂ්‍යමාන විශේෂය ද්‍යොතිත වේ නු යි දත යුතු යි.

තවද උන්වහන්සේ චතුස්සත්‍යය තෙමේ ද අවබෝධ කළ සේක. අන්‍යයන්ට ද අවබෝධ කරවන සේක. එහෙයින් ද උන්වහන්සේ බුද්ධ ය. “ඛුජ්ඣිතා සච්චානී ති බුද්ධො බොධෙතා පජායා ති බුද්ධො” යනාදීන් නිර්‍දෙශයෙහි ද, පටිසම්භිදායෙහි ද වදාළ ක්‍ර‍මය මෙහි ලා විස්තර කළ යුතු යි.

කෙනට්ඨෙන බුද්ධො? ඛුජ්ඣිතා සච්චානීති බුද්ධො බොධෙතා පජායාති බුද්ධො. සබ්බඤ්ඤුතාය බුද්ධො, සබ්බදස්සාවිතාය බුද්ධො, අනඤ්ඤනෙය්‍යතාය බුද්ධො, වීස විතාය බුද්ධො. ඛීණාසව සංඛාතෙන බුද්ධො. නිරූපලෙප සංඛාතෙන බුද්ධා, එකන්තවීතරාගො ති බුද්ධො, එකන්තවීතදොසො ති බුද්ධො, එකන්තවීතමොහො’ති බුද්ධො, එකන්තනික්කිලොසො’ති බුද්ධො. එකායනමග්ගං ගතො’ති බුද්ධො, එකො අනුත්තරං අභිසම්බොධිංං අභිසම්බුද්ධොති බුද්ධො, අබුද්ධි විගතත්තා බුද්ධි පටිලාබා බුද්ධො, බුද්ධො’ති නෙ’තං නාමං මාතරා කතං න පිතාරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තා මච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්‍රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධොනං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං බුද්ධො ති”[1]

‘කවර අර්‍ථයෙකින් බුද්ධ නම් වේ ද චතුස්සත්‍යය තමන් ම අවබෝධ කල බැවින්, අන්‍යයන් අවබෝධ කරවූ බැවින්, සියල්ල දන්නා බැවින්, සියල්ල දක්නා බැවින්, අනෙකකු විසින් අවබෝධ නො කරවන ලද බැවින්, ක්ලේශ නිද්‍රායෙන් පිබිදි බැවින්, ආශ්‍ර‍වක්‍ෂය කළ බැවින්, ක්ලේශ ලෙල්ප නැති බැවින්, ඒකාන්තයෙන් වීතරාග, වීතදෝස, වීතමෝහ බැවින්, ඒකාන්ත ක්ලේශ බැවින්, ඒකායන මාර්‍ගයට ගිය බැවින් හුදෙකලාව අනුත්තර සම්‍යක් සම්බෝධි අවබෝධ කළ බැවින්, අබුද්ධි නැසූ බැවින්, බුද්ධි ලැබූ බැවින් බුද්ධ නම් වේ. උන්වහන්සේට බුද්ධ යන මේ නාමය මව්පියන් විසින් සහෝදර - සහෝදරියන් විසින් මිත්‍රාමාත්‍යයන් විසින් සහ ලේ නෑයන් විසින් මහණ බමුණන් විසින් දෙවියන් විසින් තබන ලද්දේ නො වේ. ඒ බුද්ධ යන ප්‍ර‍ඥප්ති නාමය වනාහි උන්වහන්සේට බෝමුල සවන් නැණ ලැබීම සමඟ විමොක්‍ෂාන්තික වශයෙන් ලැබුණේ ය යනු එහි සංක්‍ෂෙපාර්‍ග යි.

  1. මහා: නි: සාරිපුත්ත සු: 334